fbpx
13.9 C
New Zealand
Saturday, April 27, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සිරිපා ගමන – 07 | එල්.එච්. ධර්මදාස

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

දෙනියාය සිට සිංහරාජය වැද්දාගල රත්නපුර පසු කර ආමග මෙතෙක් ඉදිරි පත් වීය. අද මල්වල රජ මහ විහාරයේ සිට…

මල්වල රජමහා විහාරය

මල්වල පන්සල පැරණි රජමහා විහාරයකි. ධර්ම ශාලා, පිරිවෙන් ශාලා හා සංඝාවාසයක් ද, පැරණි බුදු මැදුරක් හා දේවාලයක් ද, විහාරයේ ප්‍රධාන අංග විය. පහත මාලයේ බෝධීන්වහන්සේ විය. අඩි පහක්  තරම් උස, පතුල අඩි අටක් පමණ වට ප්‍රමාණයෙන් වූ විශාල පිත්තල පහනක් බුදු මැදුර අභියස තබා තිබිණ. නිරන්තරයෙන් දැල්වෙන එම පහන සිරිපා මළුවේ දොළොස්මහේ පහනට සමානව තනා ඇති බව පෙනුනි. මුහණ කට දොවා, බුදුන් වැඳ, සමන්, විෂ්ණු දේවාලවලට පඩුරු ඔප්පු කළ අප පැය බාගයක් පමණ බුදු ගේ අභියස කොරිඩෝවේ බිම දිග ඇදී ගිමන් හැරියෙමු. මධ්‍යහන වන විට දෙපා වේදනාවත්, ගමන් විඩාවත් දැඩි වන්නට විය. මේ ගමනේ තුන්වන දිනයයි. 

ගිලීමලේ තිලක 

අපි දහවල් 12.55 ට පන්සලේ ගල් පඩිපෙළේ පහලට බැස, ප.ව. 2.40 ට ගිලීමලේ තිලක මහතාගේ ගෙදරට සැපත් වීමු. තිලක ඒ පළාතේ පිළිගත් ව්‍යාපාරිකයෙකි. දෙනියායෙන් පැමිණ එහි පදිංචි වී සිටි ඔහු මැණික් මිල දී ගෙන වෙළඳාම් කළ අයෙකි. අංග සම්පූර්ණ සුවපහසු නිවසේ දී අප ගෙනා දහවල් ආහාරය ඔහු සැපයු අහාර පාන සමගින් අනුභව කළ අපි ඔහු දුන් ආහාර රාත්‍රිය සඳහා අසුරා ගතිමු. සවස තේ පානය කර ප. ව 4.15 ට තුති පුදා නැවත ගමන් ඇරඹීමු. 

ගිලීමලේ ගම අවසානයෙ මීටර් දහයක් පමණ පළල මීටර් හතලිහක්  පමණ දිග අලුත් පාලමක් තනා තිබිණ. ජපන් ආධාරයෙන් එය තැනු බව දෙපස සවිකර තිබු සෙල් පුවරුවල සඳහන් විය. ඉන් එතෙර වූ අපි පස්වරු හයට  පමණ ගුරුළුවානට පිවිසියෙමු. ගුරුවාළුන තේ වත්ත පසු කරන විට දැඩි වර්ෂාවක් ඇති වුයෙන් ගුරුළුවාන සමුපකාරය අසල පැරණි මඩුවක අපි මද විවේකයක් ගතිමු.  මෙම වත්ත සිරිපා කඳු වැටියේ පාමුල පිහිටියේය. සිරිපා කඳු මාර්ගයේ විදුලි බුබුළු එතනට කඩින් කඩ පෙනෙන්නට තිබිණ. නිල් පැහැයට හුරු කළු පැහැයෙන් යුත් ඝන වනාන්තරයෙන් වැසි කඳු මුදුන අහස් ගැබේ සැඟවී තිබුනෙන් අපට සිරිපා මළුව හෝ අනෙක් පරිවාර කඳු මුදුන් දැක ගැනීමට හැකියාවක් නොවිණි. 

ප්‍රදේශයේ උතුරු පැත්ත කඳු වැටියෙන් වැසී තිබු අතර දකුණු පැත්තේ තේ වතු හා කුඩා ගම්මාන තැනින් තැන පැතිරුණු කඳු සහිත පහත බිමේ අනන්තයට දිස් වින. දුර බලන කන්නාඩිවලින් අප කඳු වැටියේ විවිධ තැන විමසා බලන විට විවිධ සතුන් මෙන් වනයෙන් මතු වූ ගිරි කුළු ද දිරා ගිය දැවැන්ත ගස් ද හොඳින් දැක ගැනීමට හැකි විය. 

දිගටම ගමන් කළ අපි පස්වරු  6.35 ට කාරණිය වත්තට ළඟා වීමු. තවත් කිලෝමිටර් දාහතකින් පමණ ගමනකින් සිරිපා මළුවට කරුණා කළ හැකි නමුත් එම කිලෝමිටර් දාහත තුළ දී මීටර් 1183ක් කඳු නැගිය යුතු හෙයින් බෙහෙවින් හෙම්බත්ව සිටි අපිට එය පහසුවක් නොවන බව ධාරණය කරගෙන අධිෂ්ටානශීලීව ඉදිරියට ගියෙමු. 

රත්නපුරයේ සිට ගිලීමලේ දක්වා වුයේ දැඩි නැග්මක් නොමැති, දෙපස තේ, රබර් හා මිශ්‍ර වගාවෙන් යුතු බිමකි. තැනින් තැන කුඩා කඩපොළවල් කීපයක් වූ අතර, ගිලීමලේ සිරිපාගම සංස්කෘතික මධ්‍යස්ථානය වැදගත් වූ පොදු ස්ථානයකි. එය ගිලීමලේ මහා මාර්ගය අසල පිහිට තිබු දැකුම්කළු ස්ථානයකි. ගිලීමලේ සිට ශ්‍රී පලාබත්ගල තෙක් අවට වුයේ තේ වගාවන්ය. සියලු බිම් ආවරණය කරමින් පැවතී තේ වගාව ශ්‍රී පලාබත්ගල කඩපලේ සිට කිලෝමිටරයක් පමණ දුර සිරිපා කඳු බෑවුම ද ආක්‍රමණය කර තිබිණ. 

හිමේ නැගීම 

ක්‍රි. ව 2000.05.01 දින රාත්‍රී 7.40 වන විට තාර පාර අවසන් කර ශ්‍රී පලාබත්ගල පන්සලට පැමිණ අසල වූ අම්බලමක ගිමන් හැරියෙමු. වන්දනාකරුවන් කිසිවෙක් නොමැති වූ අම්බලම මද විදුලි ආලෝකයෙන් යුක්ත විය. ශාලාව පිරිසිදුවට බිම අතුගා තිබු අතර පිටුපස විශාල ජල ටැංකියක් විය. ඉදිරිපිට සෙල්ලම්බඩු, තොප්පි රසකැවිලි හා ආහාරපාන විකුණන කුඩා කඩ පේලියකි. වෙළෙන්දන් මිස වෙන කිසිවෙක් ඒවායේ නොවුයේ මේ වන්දනාසමයේ අවසන් සතිය හෙයිනි. තෙත බරිත කාලගුණයත් අඳුරත් තෙහෙට්ටුවත් පාළුවත් ඉදිරියට ඇති දුෂ්කර කඳු නැග්මත් යන සියලුම දෑ සංකලනයෙන් අප සියල්ලන්ම අඹරා මිරිකා දැමුවාක් මෙන් විය. හෙන්රි හැර වෙන කිසිවෙක් මේ මගෙන් පෙර දී සිරිපා කරුණා කර නොතිබිණි. හැටන් හා කුරුවිට මාර්ගවලින් මා සිරි පා කරුණාකර තිබු නමුත්, පලාබත්ගල පාර ගැන මගේ කිසිදු දැනීමක් නොවීය. මහාවනයෙන් වැසී ඉමක් නැති කඳු වැටිය නෙත ගැටුන ද සිරිපා කන්ද පෙනතෙක් මානයේවත් නොතිබිණි. කිලෝමිටර් දෙකක් පමණ දුර තැනින් තැන විදුලි බුබුළු මතු වී පෙනෙන මාර්ගය කඳු වැටියේ මැද දී තවත් කන්දකට මුවා වී නොපෙනී යයි. ඉදිරියට නොපෙනෙන තැනින් පසුව සිරිපා කන්ද පටන් ගනිතැයි මට සිතින. රාත්‍රී අටට පමණ තිලකෙගේ නිවසින් සකසා දුන් බත් මුල් දිග හැරි අපි මුහුණ අතපය දොවාගෙන සප්පායම් වී සීතල වලකන ඇඳුම් ඇඳගෙන රාත්‍රී නමය හමාරට සිරිපා කරුණා කිරීම ඇරඹීමු. 

නැවත ගුරු තනතුර මාරු වීම

දැන් නඩේ ගුරා වුයේ හෙන්රි මල්ලීය. මෙතෙක් විසුළු කතා හා ඕපාදුප කියමින් පැමිණි අප, ඒ සියල්ල නවතා කට වරද්දා ගැනීමක් නොකර කරුණාවයි, කරුණාවයි හඬ නගා සාධුකාර දී ගමන් ඇරඹීමු. සෙමෙන් කන්ද නැගීම ඇරඹු අපි රාත්‍රී 11.45 ට ලිහිණි හෙලට පැමිණියෙමු. කකුල හරි ආකාරව නැමිය නොහැකි නිසා සිරීට කඳු නැගීම ඉතා අපහසු වූ අතර හෙන්රි ඔහුගේ ගමන් මල්ල රැගෙන ඔහු සමග සෙමෙන් පසුපසින් ගමන් කළේය. මාර්ගයේ බොහෝ තැනවල කිසිදු විදුලි එළියක් නොමැති විය. ඇතැම් විදුලි බුබුළු ගල් ගසා බිම දමා තිබු අතර, අකුණු පහරින් බිදි ගොස් තිබු විදුලි බුබුළු  කිලෝමිටරයක් දෙකක්  පමණ ප්‍රදේශය සම්පුර්ණයෙන් අඳුරු කර තිබිණ. 

දිගු කාලයක් සේදී ගිය පාරේ නැගීමට ඇති පඩි බොහොමයක් කැඩී සෝදාපාළු වී ගොස් තිබු අතර, ඇතැම් තැනක ගල් පෙරලී යකඩ කණු හා කොන්ක්‍රීට් කුළුණු කැඩි ගොස් තිබිණි. කිලෝමිටර දෙකක් පමණ අතරේ දී කුඩා වන්දනා නඩ දෙකක් හැරෙන්නට කිසිදු අයෙක් අපට හමු නොවීය. අඳුර තුළ ඝන වනාන්තරයේ කරුණාකරන අපගේ සිත් දැඩි පාළුව සහිත බිය මුසු භක්තියකින් වෙලාගෙන තිබිණි. විදුලි පන්දම් එළිය කැලය දෙසට යොමු නොකරන ලෙසට හෙන්රි මල්ලී නිතර මතක් කළේය. පාළු මාවත අසලට දිවියන් ඇතුළු වනසතුන් පැමිණ සිටියහොත් ඉන් අප උපද්‍රවයට පත් කරන හෙයින්ම එසේ පැවසූ බව මමත් පාලිතත් මැනවින් අවබෝධ කරගෙන් අසිටියෙමු. 

වෙහෙස කොතරම් දැයි කීවොත්, අපට එකවරට මීටර් දහයක් වත් ඉහළට නැගීමට හැකියාවක් නොවීය. මද දුරක් යන අප පසුපසින් එන අය එනතෙක් ගිමන් හැරියෙමු. ප්‍රියන්ත ගමන් මල්ල හිස මතම තබා ගමන් කළ අතර අනෙක් අය පිටේ එල්ලගෙන පැමිණෙන ලදී. හෙන්රිගේ පිටේ එක මල්ලක් ද, හිස මත තවත් එකක් ද විය. හිස මත වූ මල්ල සිරී ගේය. මද දුරක් සිරිගේ ගමන් මල්ල පාලිතත් මමත් ගෙන ගිය අතර එය අපට මහත් වු වදයක් විය. 

ලිහිනිහෙල අම්බලම ළඟ ඇති ආපන ශාලාව ගිලීමලේ සමුපකාර සමිතියෙන් පවත්වාගෙන යන එකකි. රාත්‍රී 11.45 ට එතනට ගොඩ වන විට වෙළඳ සේවකයන් දෙදෙනා හිස සිට දෙපතුලට පොරවාගෙන තද නින්දේ පසුවූහ. කිහිපවරක් කතා කර ඔවුන් නැගිටුවාගත් අපි තේ කොපි ආදී උණු බීම කිසිවක් නොවුයෙන් ජින්ජර් බෝතල් කීපයක් කඩාගෙන බී පාලිතගේ මල්ලේ වූ අග්ගලා කීපයක් ද කෑවෙමු. අධික ගමන් වෙහෙස නිසාවෙන් කිසිවෙකුට කිසිම දෙයක් කෑමට හොඳ රුචියක් නොවීය. මේ අතර බල්ලෙක් වේගයෙන් කඳු පහළට මාවත දිගේ දිවූ අතර ඒ වල්බල්ලෙක් බව කඩේ සිටි සේවක තරුණයාගෙන් අසා දැන ගතිමු. උන් කිසි විටෙක කඩේ තුළට නොඑන බවත්, කැලයේම ගැවසෙන බවත් කියූ මුත් මිනිසුනට දැඩි බියක් ඌ තුලින් දිස් නොවීය. 

හිමේ මැද දී බාර වීම 

එතනින් නික්මුණ අපි ඒ අසල පිහිටි ගරා වැටුණු කුඩා දේවාලයක් වෙත අඳුරේම ගොස් පන්සිල් ගෙන දෙවියන්ට පින් දී පඬුරු දමා, පඬුරු දෙකක් ගෙන  සමන් දෙවිඳුන්ට බාර වී අප සැමට කිසිදු කරදරයකින් තොරව මෙම වන්දනාව කරගෙන ආපසු කරුණා කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනාකර පඬුරු දෙක සිරිගේත්, සෙනෙවිගේත් අත්වල ගැට ගැසීමු. පඬුරු බැඳ සුළු වෙලාවකින් සිරීට මහත් සුවයක් දැනෙන බවත්, දණහිසේ වේදනාව පහව ගිය බවත් පැවසීය. 

කෙසේ වෙතත් අප කිසිවෙකුට මීටර් පනහක්වත් වනය තුළින් එකවර කන්ද නැගීමට නොහැකි විය. තුන් සරණේ කවි කීමට පටන් ගත්තත් කවියක් දෙකක් හැර ඉන් එපිට දැනීමක් නොවීය. මග දෙපස ඈතින් ඈත පිහිටි සියලුම කඩවල් ඉවත් කරගෙන ගොස් තිබිණ. තාවකාලික මඩු ගලවාගෙන ගොස් තිබු අතර ඇතැම් තැනක අර්ධ ස්ථීර කඩ ගොඩනැගිලි පාළුවට හැර දමා ගොස් තිබිණි. රාත්‍රී 12.35 ට ලිහිණිහෙලින් පිටත් වූ අපි අලුයම 2.35 ට ගෙත්තම්පානට ළඟාවීමු. ගෙන ගිය නූල් ඇද ඉඳි කටු ගසා ගෙත්තම්පානේ දී චාරිත්‍ර ඉටු කළ අපට ඉන් ඉදිරියට යාමට බොහෝ අපහසු වුයෙන් ගෙත්තම්පාන අම්බලමට ගොඩවුවේ පහන් වන තුරු එහි ගත කළෙමු.

දෙතුන් දෙනෙක් අම්බලමේ කොනක නිදා සිටි අතර දහදියෙන් තෙතබරිත යට ඇඳුම් උනා දමා ඇඳ සිටි අනෙක් ඇඳුම් ඇඳ සීතලට කන වටා බැඳගෙන ඉටිරෙදි එලා ඒ මත දිග ඇදි නිදන්නට පටන් ගත විටම පැය බාගයක පමණ වර්ෂාවක් අද හැලුනි. දැඩි සීතලත් ගමන් වෙහෙසත් අප වෙත සුව නින්දක් නොගෙන ආ නමුත්, වෙහෙස නිවීමට විවේකය මහත් පිටුබලයක් විය. පසුදා එනම් මැයි දෙවෙනි දා අලුයම පහට පිබිදුන අපි ගෙත්තම්පාන මහාගල්තලාව හරහා ගලා බසින දොළ පහරින් මුහුණකට දොවා, එතනම වූ තේ කඩයෙන් තේ බීමට සූදානම් වූ මුත් සේවකයන් ඒ වන විටත් තද නින්දේ පසු වූ හෙයින් එම අදහස ඇත හැර දමා පෙරවරු 6.20 ට නැවත ගමන් ඇරඹීමු. 

පෙරවරු 6.25ට කළුගලේ කපා ඇති ගල් පඩි සහිත වූ ධර්මරාජ ගල නැග මද දුරක් යන විට මීදුම අතරින් මුලින්ම අපට සිරිපා මළුව දැකගත හැකි විය. අප සියලුදෙනාම මහාහඬින් සාධුකර දුන්නේ අපගේ ගමනාන්තය වූ ඒ ශ්‍රේෂ්ඨ පුදබිම දැක ගැනීමට හැකි වීමෙන් ඇති වූ සතුට හේතුවෙන්මය. උදෑසන අටට සීත ගඟුලට ළඟා වූ අපි දිය  නා පිරිසිදු වී පිරුවට ඇඳගෙන එය ළඟ වූ තේ කඩයෙන් රොටී කා උදෑසනට තේ බී පෙරවරු අට හමාරට එතනින් කරුණා කළෙමු. ආඩියාමලතැන්න පසු කර හැරමිටි පානට ළඟා වූ අප එහි දී සම්බන්ධ වන කුරුවිට පාර හන්දිය ද පසු කර ඉහළට ගියෙමු. කඩ කීපයකින් සමන්විත මෙම ස්ථානය කඳු වැටී දෙකක් අතර වූ මීටර් තුන්සියක් පමණ දිග පළලින් වූ සම බිමකි. 

හැරමිටිපානට මදක් ඉහළින් භික්ෂූන් වහන්සේලා වාසය කරන පන්සලක් වෙයි. මීටර් හතක් ක් පමණ උස මීටර් දහයක් පමණ පළල රිදී පැහැති මකර තොරණ යටින් මාර්ගය සකසා ඇති මෙම ස්ථානයේ සමන් දේව රූප සහිත කුඩා දේවාලයක් පසෙකින් වෙයි. පොලිස් මුරපොළ මෙයට මදක් ඉහළින් පිහිටා ඇත. හැරමිටිපාන දක්වා මාර්ගය මනාව නඩත්තු කර නොමැති වුව ද, එතන සිට උඩ මළුව දක්වා මාවත සිමෙන්ති පඩි බැඳ මනාව සකසා තිබීමෙන් ගමන් මග අතිදුෂ්කර බෑවුම් සහිත කොටස ගමන් කිරීමට අපහසුවක් තිබුනෙම නැත. හැරමිටිපානේ සිට සිරිපා මළුව දක්වාම ගහනව හැදී ඇති ගස්වලින් යුතු වනය තුරන්ව ගොස් මීවන ශාක හා පළල දිගු පත්‍ර ඇති කැනාස් වැනි ඒක පත්‍ර ශාකවලින් කඳු බෑවුම වැසී තිබුණි. බොහෝ තැනවල පස සෝදා ගොස් ගිරිකුල මතු වී තිබිණ. 

සෙමින් නගිමින් වෙහෙස නිවමින් ගමන් ගත අපි පෙරවරු 10.45 වන විට පලාබත්ගල මාර්ගයේ අවසාන තේ පැන්හලට ගොඩ වැදුනෙමු. වන්දනාකරුවන් නොමැති හෙයින් ලිප ගිනි මොලවා නොතිබුණෙන් අපි ගෙනා අග්ගලා හා රස කැවිලි කා වැඩි කොටස කඩයේ සිටි අයට දී ලිප තැබූ ලොකු මුට්ටියෙන් වතුර ඉල්ලා බීවෙමු. අපි පෙරවරු 11.10 ට එතනින් පිටත් වී ඇහැල කණුව ළඟට පැමිණියෙමු. ඇහැල කණුව මීටර් භාගය ක් පමණ උස මීටරයක් පමණ වට සහිත වූ රවුම් කුඩා ගල් කුළුනකි. බැතිමතුන් චාරිත්‍ර ඉටු කිරීමට හුණු ගා පිළිවෙත් පිරීම හේතුවෙන් හුණු බදාම තට්ටුවකින් කණුවේ රවුම් මුදුනත වැසී ගොස් තිබිණි. අපි ඇහැල කණුවේ හුණු ගා සිරිත් ඉටු කළෙමු. 

ඊළඟ කලාපයේ  සිරිපා මළුවට කරුණා කිරීම…

මතු සම්බන්ධයි…

By L.H. Dharmadasa

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.