ගුණදාස පිළිගන්නට නොවරදවාම අටකලංපන්නේ මාදම්පේට පසුදා යන ලෙස දැන්වූ ගමන්ම අමාත්‍ය ගාමිණී අතුකෝරාළ මහතාගේ දුරකතනය විසන්දි වී ගියේය. ඒ රට පුරා සමාන්‍ය දුරකතන සියල්ලම අක්‍රීයව පැවති කාලයකි. ප්‍රභූන්ට පමණක් විශේෂ සම්ප්‍රේෂණ සම්බන්ධතා තිබුණි.
‘මොකක්ද මේ ගුණදාස පිළිගන්න යන්න කියලා කියන්නෙ?’ මම මගේ සහායක විජේරත්නගෙන් ඇසුවෙමි.
‘කිසිම දෙයක් මටත් හිතා ගන්න බෑ. මිනිහ වැඩ කාරයා. එක දවසක් මෙහේ පියන්. ඊළඟ දවසෙ එස්.ටී.එෆ්. එකේ මාර වැඩ කාරයෙක්. එයාගෙ අම්මා කියනවා දාහතරක් ඉන්න ප්ලැටූන් එකක ඉස්සරහින්ම ඉන්නව කියලා. කොටින්ට දීල අරිනවලු ඔළුව හැරුණ හැරුණ අතේ දුවන්න.’ ඔහු උත්තර දුන්නේය.
‘කොහේ ගියත් නායකයෙක්. මෙහේ ඉන්න ගමන් පොලීසියට බැඳෙන්න දැඟලුව. දැන් එස්.ටී. එෆ්. මතකද වැල්ලඳුරෙ පාර කැපුවේ?’
‘එහෙනම්,’ තිලකරත්න උත්තර දුන්නේය.
‘මුළු ගමම කුලේ නිසා දෙකට බෙදිලා පාර කපනවට විරුද්ධයි. පුතයා අතැරියෙම නෑ. නියම ග්‍රාමීය නායකයෙක්.’
‘දස්සයා.’
‘ඕන එකක්. අපි යමු ඇමති තුමා ආවට ගියාට කියන්නෙ නෑ.’
ගුණදාස විශේෂ කාර්ය බලකායේ දාහතර දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක සැරයන් වරයෙක් ලෙස මුලින්ම ගියේ තොප්පිගල කිට්ටුව මහා කැලෙයේ නැගෙනහිර යුද පෙරමුණටය.
‘මැරුණත් අපි ආපහු එන්නේ නැහැ සර්, කොල්ලෝ ඔක්කොම හෙණ ගෙඩි වගේ. කවදාහරි අපි යුද්දේ දිනනවා.’ මගේ කාර්යාලයට පැමිණි දවසක ඔහු කීවා මතකය. ප්‍රතාපවත් උඩු රැවුල, දිගු නහය, තාරුණ්‍යයේ අභිමානය, කාලවර්ණය මුහුණ පුරාම.
‘වීරයෙක්,’ මම තිලකරත්නගේ කීමට එකඟ වූයෙමි ‘අහන්න දෙයක් නෑ තොප්පිගල යුද්දෙදි ලොකු වැඩක් කරලා තියනවා. නැත්නම් ඇමති තුමාම පිළිගන්න කියයි ද?’
සතුරු බලකොටු සහමුලින්ම සුණුවිසුණු කළ අපේ වීර හමුදාවන් ගැන ප්‍රවෘත්තියට අතර මග දී මම ද කන් දුන්නෙමි. ඒ, රටේ අඩකුඹුකර තිබූ ජාතික කොඩියක් සුදු කොඩියක් නොතිබුණු එකද නිවසක් හෝ නොවුණ කාලයකි. යුද්ධයේ දී අපි වරෙක ජය ගත්තෙමු. වරෙක පැරදුණෙමු.
එහෙත් ගුණදාසගේ නිවසේ ඔහු පිළිගන්නට කිසිම සූදානමක් නොවීය. පියා කාලයකට පෙර මියගොස්ය. මව වැඩිමහල් පුත් තිලකරත්නගේ නිවසට ගිය වග මම දැන ගතිමි. යම් තොරතුක හෝඩුවාවක් දැන ගන්නට මම කඩමංඩිය පැත්තට ගියෙමි.
‘ගුණදාස බේරුණා වුණත් ආමි එකේ කොල්ලො මැරෙන්න ඇති. මෙච්චර කොඩි දාලා.’ රියැදුරු ප්‍රනාන්දු කීවේය. පැල්මඩුල්ලේ සිට අටකලංපන්නට යන තෙක් පාර දෙපැත්තේ සුදු කොඩි දමා තිබුණු වග මට සිහි පත් වීය.
‘මග එනවා. ඉඳලම එන්න. කට්ටියම ඇමති තුමා වෙනුවෙන් පිළිගන්න. ඇමති තුමා හදිසි පාර්ලිමේන්තු රැස්වීමකට ගියා.’ ලේකම් මට පණිවිඩයක් එව්වේය.
මම ආපසු ගුණදාසගේ නිවසට ගියෙමි. සෙනග පනහක් හැටක් රැස්ව සිටියහ. ආචාර හමුදා කාණ්ඩය ආපසු ගොස් තිබුණි. නිවස ඇතුළේ වූයේ තරමක නිහඬභාවයකි.
‘එන්න සර්,’ කෙනෙක් මා ඇතුළට කැඳවා ගියේය.
මම ගුණදාස දෙස බැලුවෙමි. දේහධාරී සිරුරට ගැළපුණ පෞරුෂය පිරි මුහුණ, කැරකැවුණ ආමි උඩු රැවුල, අඩ සිනහව සියල්ල එසේමය.
‘මොකක්ද සර් මේ වෙන්නේ. මේ ඔක්කෝම අපේ කොල්ලො නේද? කෝ ඇමති තුමා? මෙහෙමද අපේ කොල්ලන්ට සලකන්නෙ?’ මා සමීපයට දුව ආ එක් කෙනෙක් ඇසුවේය.
‘මගේ පුතා වීරයෙක්,’ගුණදාසගේ අම්මා කීවාය.
‘වීරයා ගමට ඇවිල්ලා, අයෙමත් යන්නේ නැහැ.’ තවත් කෙනෙක් කීවේය.
නිවස පිට පැත්තේ රැස්වූවන්ගේ නොසන්සුන් තත්ත්වයක් මතු වෙමින් පැවතුණේය. එය කෑකෝ ගැසීමකට හැරෙන්නට වීය. ටිකෙන් ටික මා කිසිදාක නොදුටු සෙනගක් රොක් වන්නට වූහ.
දෙපා වලට ශක්තිය ලබා ගත් මම ගතට සිතට වැර ගත්තෙමි. ‘ටිකක් ඉන්න. ගුණදාස තමන්ට පුළුවන් උපරිමයෙන් රටට සේවය කළා. උපරිමම පරිත්‍යාගය කළා. ඔය ගොල්ලන් ගේ වීරයා ගමට ආවා.’ මට කීමට හැකි වූයේ එපමණකි. මම එක අතකින් මුහුණ වසා ගෙන ඇඟිලි අතුරින් වීරයාගේ මුහුණ දෙස බැලුවෙමි.
කෙනෙක් දෙන්නෙක් සුසුම් හෙලූහ. අසල්වැසියෙක් ඉදිරිපිට වූ අඹගසට නැග සුදු කොඩියක් දැමුවේය.
By G.S. Perera – Auckland