fbpx
11.3 C
New Zealand
Sunday, November 22, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගීතය සහ කවිය | ප්‍රියානන්ද විජේසුන්දර | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ගීතයක උපත කවිය බව මහගම සේකර මහත්තයා එකල (1970) දී අපගේ ගුවන් විදුලි යෞවන සමාජයේ දේශනයකදී සඳහන් කළා. ඊට පසු කාලයකදී එතුමා කීවේ ගීතයේත් කවියේත් වෙනස්කම් ඇති බවත් මේ පිළිබඳව අපම සොයා ගතහොත් නිර්මාණශීලී කවියන් සහ ගීත රචකයන් විය හැකි බවත්. ඉතින් මා මේ කියන්නේ මා සොයාගත් දේ. කවිය ප්‍රධාන කොට අවස්ථා දෙකකට බෙදන්න පුලුවනි.

1) සඳැස් (සිව්පද කවි) පේළි හතරක කවි, සන්දේශ කව්‍ය මේ ගනයට වැටෙනවා.

     මිතුරු තුමෝ දුක් සැප දෙකෙහිම       පැවතී
     බිතු සිතුවම රූ මෙන් පිටු           නොපා විතී
     යුතු මතු වැඩ ම තෙපල එවැනි  ගුණ     ඇතී
     සිතු නතු කර අස යහලුව  වඩන            රුතී 
     (සැලළිහිණි සන්දේශය)

මේවා රචනා කිරීමේ ව්‍රතය, යතිය, ගතිය ආදිය ගැන සැලකිය යුතු අතර කොලයක ලිවීමේදී පවා කියවන අයටද තේරුම් යන සේ ලිවිය යුතු වන්නේමය .හැම කෙනෙකුටම සෙත් කවි පබඳින්නට බැරුවා සේම, නිවැරදිව සෙත් කවියක් කියන්න බැහැ .කියවන කෙනා ද ව්‍රතය, යතිය, ආදිය නිවැරදිව තේරුම් ගෙන කවිය කියවිය යුතුය.නැතිනම් සෙත් කවිය වස් කවියක් වේවි .(මේවා පසුව කියා දෙන්නම්)

2) නිසඳැස් කවි. නිදහසේ තම අදහස් ප්‍රකාශනය කරණ කවි. මා පළමුව කියූ  එක නීතියක් වත් රීතියක් වත් අදාළ වන්නේ නෑ. එහෙත් අදාළ කරගත්තොත් වටිනවා.

දෙනෝ දාහක් වැඩට යන
කෝච්චියක
බුදුවීමට
තනිවම නොව
අපි ඔක්කොම
එකට බුදුවීමට
සිද්ධාර්ත
විවරණය දුන මැනවි මට.
(ප්‍රබුද්ධ-මහගම සේකර) 

මේ නිසදැස පොතේ තියෙන්නෙත් මේ පේලි විදියටමයි. (මුල් පොතේ). ඇයි සේකර මහත්තයා එහෙම ලිව්වේ? නිසඳැස උනත් මා කියූ  රීතීන් එතුමාගෙන් ඉබේටම ඇවිත් තියන නිසා. වත්මන්  ශ්‍රී ලාංකේය කලා මාධ්‍යයන් අද වාර්තාවන් බවට පත්ව ඇත. නිර්මාණ මෙන්ම නිර්මාණ කරුවාද  වාර්තා කරුවන් බවට පත්ව ඇත.

ගොන්නු තණ කමින් යති.
පක්‍ෂීහු පියාඹා යති.

මෙය කාව්‍ය නිර්මාණයක් නොව වාර්තාවකි.

     නිසග සිඳ පිලිබන්
     උගත් කව් විමලනේ
     නොමද බියොවුදු හේ වේ
     වෙසෙසින් මේ කව් සපුවට- (සිය බස් ලකර)

පූර්ව ජන්මකෘත ලැබීම්, ශාස්ත්‍රාධ්‍යායනයද, නිරන්තර අභ්‍යාසයද(සතතාභ්‍යාසය) යන මේකාරණා කාව්‍ය සම්පත්තියට හේතු වේ. 

          වැලලුනු අතීතයක්
          මතකයට එන තරම්
          සතුටක්ද?
          දුකක්ද?
          සිතන්න
          සිතට නෑ වරම්.

     මෙය මා ලියූ නිසඳැසක්. ඇයි මම මෙහෙම පේලිවලට ටයිප් කළේ. (ඔබට කොහොම පිටපත් වේවිද මන්දා) මට පේලි දෙකකට මේක ලියන්න තිබුනා. ලියලා බලන්න මේ අදහස වෙනස් වෙන හැටි.

කවියකට සීමා දාන්න බෑ. සැලළිහිණිය කවි 111 ක්. සැලළිහිණිය ගීතයකට ලියන්න කිව්වොත් කාටද පුලුවන්. ගීතයකට සීමාවක් තියනවා. ඉස්සර නම් විනාඩි 3යි තත්පර 20 යි. ඒකට හේතුවක් තිබුනා. ගීතයක් ජනප්‍රිය වෙන්න ගුවන් විදුලියේ තැටියක තැටිගත වෙලා ප්‍රචාරය වෙන්න ඕනා. මේ තැටියක අන්තර්ගත කළ හැක්කේ විනාඩි 3 තත්පර 30 ක් පමණයි. ඉතින් එදා ගීත මේ කාලයට සීමා කළා. එදා පටිගත කිරීම්වලදි විරාම ඔරලෝසුවක් තියාගෙන කාලය මැන්නා. මොකද එදා කෙලින්ම තැටි වලටයි ගීත සටහන් වුණේ. පසු කාලයක (1950 අග කාලයේ) පටිගත කිරීමේ යන්ත්‍ර ආවා.(අර මගේ ළඟ තියෙන්නේ) ඒත් මේවායේ ධාවන කාලය නෑ. පටිගත වූ දුර පමණයි තියෙන්නේ. කට්ටිය පුරුදු වුණා  මේ දුර කාලය සමග සමාන කරන්න. මේක හරි ගියේ නෑ. මොකද එක එක යන්ත්‍ර වල ධාවන වේග එම යන්ත්‍ර පාවිච්චි කරණ චිත්‍රාගාර වල විදුලි බලය සහ යන්ත්‍ර අනුව වෙනස් වුණා. පසු කාලයක ධාවන වේලාව විනාඩි, තත්පර ,දශම වලින් සටහන් වෙන යන්ත්‍ර වෙළද පොලට ආවා .විනාඩි 3යි තත්පර 30 ට වඩා තැටි ගතකළ හැකි එල්. පී තැටි ආවා. ඒත් අපේ කන සහ මොළය අනුව ගීතයක් රස විඳිය හැකි උපරිම කාලය විනාඩි 5 ට අඩුයි. සිනමාවේත් එහෙමයි. ලෝකයේ ලස්සනම දේ උනත් තත්පර 30 කට වඩා එකම රූප රාමුවක බලන්න අපි කැමති නෑ. ඇහිපිය ගහන්නේ ඒකයි. එතකොට රූප රාමුව වෙනස් වෙනවා.

මුල් වරට විනාඩිහතරට වැඩ ගීතයක් නිර්මාණය කළේ රූකාන්ත. උදුම්ඹරා ගීතයත් දිග ගීතයක්. පසු කාලීනව කැසට්, සංයුක්ත තැටි ආවා. ගීතයේ කාලය වෙනස් වුණා. පරිඝණකයත් ආවා. ඒත් මිනිස් මොළය සීමාව වෙනස් කලේ නෑ. කවියට කාලයක් සීමාවක් නැති වුණාට ගීතයකට සීමාවක් ඇති බව තේරුම් ගමු. විනාඩි හතරක් කියමු.

සාම්ප්‍රදායික අපේ ගීතයක මූලික කොටස, සහ අන්තරා කොටස් දෙකක් තියනවානේ. ඒ මදිවට මුල් සංගීත ඛණ්ඩය සහ අන්තරා සංගීත කොටස් දෙකක් තියනවා. මේවයේ කාලය තීරණය කරන්නේ සංගීත අධ්‍යක්‍ෂ වරයා. අපේ වචන දිගු උනා කියලා අපිට සංගීතය කොට කරන්න කියන්න බෑ. එතකොට අපේ කතාව කියන්න අපිට තියන කාලය විනාඩි දෙකටත් අඩුයි. අපි අන්ත අසරණයි. එතකොට ව්‍රතය, යතිය, මාත්‍රා වලටත් අපි හිරවෙනවා. මීට අමතරව සුබ ඝන අසුබ ඝන වලටත් ඕනනම් අපිට සිරකරුවන් වෙන්න පුලුවන්. අපායාක්‍ෂර වලටත් හිරවෙන්න පුළුවන්. නමෝ නමෝ මාතා ශ්‍රි ලංකා මාතා වුණේ  ‘න’ යන්න අපායාක්‍ෂර යක් වීමත්, මුල් ඝනය අසුබ ඝනයක් වීමත් නිසා. රැපියල් තෙන්නකෝන්ගේ කුකුළු හැවිල්ල වස්කවි පෙළක්. ඒක ගායනා කළ සුනිල් ශාන්තයන්ට පාරේ කරෝල විකුණන්නත් පෙට්‍රෝමැක්ස් ලාම්පු හදන්නත් වුණා.මේ ළඟදී එම ගීතය ගායනා කළ ගායකයෙක් ගෙදර එද්දී අනුන්ගේ රණ්ඩුවක් නිසා නිරපරාදේ ගුටි කෑවා.

(මතු සම්බන්ධයි)

– ප්‍රියානන්ද විජේසුන්දර,  ඕක්ලන්ඩ්
– Priyananda Wijesundara, Auckland

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.