සඳුද අවදියෙන්, තරුද අවදියෙන්,
මේ නිශාන්තයේ
ඔබ ළඟ නැති තව දිනක් උදාවේ
තනිවුණු වසන්තයේ
සීතල ඇති රූ මිහිලිය ලය මත , කොඳ කෙමි පිපුරුනි මධු පුරවා,
උණුසුම දිසුනේ නෑ නෙත මානෙක, ඔබ ළඟ නැතිවම අද මා තනිවම
පහන් නොදැල්වෙන ඔබෙ පැල් පත තුළ, නිදිමත අද නෙතුපිය සනහා
මගේම කඳුළක් වී පිනි බිඳු ලෙස, ඔබේ කවුළුව ළඟ පිපි මල් පෙති මත’
අමරසිරි පීරිස් ශුරින් කියන්නේ ශ්‍රි ලාංකීය ගීත ක්ෂේත්‍රයේ අසහාය ගායකයෙක්. ගායකයෙක් වීමට පෙර ඔහු වාදකයෙක්. පදිංචි වෙලා හිටියේ පිළියන්දල ප්‍රදේශයේ. සිකුරාදා දවසක ඔහු බස් එකට නගිනවා ගුවන් විදුලියට යන්න. එවකට ඔහු ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ වයලීන වාදකයෙක්. ඒ බස් එකේම ගුවන් විදුලියටම යන තවත් ප්‍රදේශීය මිතුරෙක් ඔහුට බසයේදී මුණ ගැහෙනවා. ගීත රචනා කළත් මේ මිතුරා එවකට ගුවන් විදුලියේ ශබ්ද පරිපාලකවරයෙක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි ප්‍රියානන්ද විජේසුන්දර. ප්‍රියා ළඟින්ම ඉඳගත්ත අමරසිරි කෙලින්ම අහනවා, ‘මල්ලි මට සින්දුවක් ලියල දෙන්න පුළුවන්ද කියලා’. ප්‍රියානන්දයන්ටත් ඉතින් වැඩිහරියක් ලැබෙන්නේ ඔයවගේ ඉල්ලීම් නිසාත්, අමරසිරි පීරිස්ට ඇති හිතවත්කම නිසාත්, ‘නෑ’ , ‘බෑ’ ප්‍රියාගේ ශබ්දකෝෂයේ නැති නිසාත්, ප්‍රියත් කෙලින්ම කියනවා ‘හා මම ලියන්නම් කියලා’. අමරසිරි ටිකක් පහත් ස්වරයෙන් කියනවා ‘ටිකක් ඉක්මනට ඕනෑ’ කියලා. ඒකටත් පිළිතුර ‘හා’. ‘ඉක්මනට කිව්වේ මේ සඳුදට රෙකෝඩින් එක’ අමරසිරි වචන ගලපන්නේ මහා වරදක් කළා වගේ හැගීමකින්. සුපුරුදු ප්‍රියමනාප සිනහවෙන් මුවසරසාගන්න ප්‍රියා නැවතත් දෙන්නේ කෙටි පිළිතුරක් ‘හරි සඳුදට දෙන්නම්’.
සෙනසුරාදා හවස ප්‍රියාට සර්වෝදයේ ස්ටුඩියෝ එකේ වැඩක්. ඒ වෙනකොට ගෙදරින් තහංචි වැටිලා තිබුණු ප්‍රේමයේ පෙම්වතියත් වැඩකරන්නේ සර්වෝදයේ. වැඩ අවසන් වුණු විගස ඇය හදිසියේම නිවස බලා ගිහින්. ටිකක් රෑ වෙනකම් වැඩකරපු ප්‍රියා එළියේ තියෙන රූස්ස ගසක් යටට යන්නේ වැඩකරලා ගතට දැනුනු විඩාවත්, පෙම්වතිය ගෙදරගිය හේතුවෙන් සිතට දැනුනු විඩාවත් නිවාගන්න. එතනට කෙලින්ම පෙනෙන්නේ නේවාසිකාගාරයේ ඇගේ කුටිය. වෙනදාට විදුලි පහන දැල්වෙන කුටිය අද අඳුරුයි. කුටිය අසලම තිබුණු රාත්‍රියට පිපෙන මල් ගහේ පිපුණු මල්වල සුවඳ පරිසරයේ විසිරිලා. පොළවේ දාහය නිවිලා ගිහින් සිසිලසක් දනවනවා. ‘ගෙදර තත්ත්වය මොකද දන්නේ නැහැ’ එකපාරටම ප්‍රියාගේ මනසට සිතිවිල්ලක් පැමිණියා. ‘ආයෙත් ඇයට වැඩට එන්න දෙන එකක් නැත්ද’? ‘එහෙම වුණෝත්..! මේ කුටියේ පහන කවදාවත් දැල්වෙන එකක් නැහැ’. එකපිට එක සිතිවිලි ගලාගෙන එනවා. පෙම්වතාගේ හිතට මහත් බියක් දැනෙනවා. මල් සුවඳ මුසු වුණු හුස්මකින් ලය පුරවගන්න පෙම්වතා අහස දිහා බලාගෙන සුසුමක් පිටකරනවා. අවපස අටවක සඳ තරු පිරිවෙරාගෙන අහසේ මුදුන්වෙලා. අත් ඔරලෝසුව දෙස බැලුව ප්‍රියාට පෙනෙන්නේ දවස ගෙවීයන්න තියෙන්නේ තව විනාඩි ගණනක් කියලා. ‘ඇය නොපැමිණියහොත් හැම දවසම මෙහෙම වේවි’. ප්‍රියාට හිතෙනවා. ඊළඟ මිනිත්තුවේදී ප්‍රියාගේ පන්හිඳෙන් පද පෙළක් ලියවෙනවා. ඔන්න ඔහොමයි ප්‍රියාගේ පෞද්ගලික අත්දැකීම ගීතයක් බවට පත්වෙන්නේ. පසුව ඒ පද පෙළ ශ්‍රි ලාංකීය ගීත ක්ෂේත්‍රයේ මහා හඬ පෞරුශයක අසහාය ගීතයක් බවට පත්වෙනවා.
නිශාන්තයක් අලුත් දවසක් බවට පෙරළුණු යාමයක, මහ රෑක, පාන්දර ජාමයක, සෙනසුරාද එළිවෙනකොට ගීතය ලියල ඉවරයි.
‘ඊටපස්සේ මොකද වුණේ’. ප්‍රියා එකදිගට කරගෙනයන මතකාවර්ජනයේ චිත්තරූපය මවමින් සිටි මම ප්‍රියාට ඉසිඹුවක් දෙමින් ඇහුවා.
‘සිතිවිලි පහල වුණේ, ලිව්වේ මහ රෑක වගේම අමරසිරි ඔය ගීතයට සංගීතය යොදල තියෙන්නෙත් මහ රෑක. බොහෝ දුරට ඉරිදා රෑ වෙන්නැති. මොකද සඳුදා ගීතය පටිගත කරන්න තිබුණ කියලනේ කිව්වේ. තව දෙයක්, ඔය ගීතය කොළ දෙකක ලිව්වා. මොකද ඒ දවස්වල ඔය කොම්පියුටර් වගේ විද්‍යුත් ලේඛන තියාගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ගීතය අමරසිරිට දුන්නට පස්සේ ඕක ඉතින් කොහේ යයිද දන්නෑ. ඉතින් මම ගීතය වෙනත් කොළයකට පිටපත් කළා. එකක් අමරසිරිට දුන්න පහුවෙනිදම, ඒ කියන්නේ ඉරිදා.’
‘එතකොට අනිත් එක කාටද?’ නොඉවසිලිමත් වුණු මම, ප්‍රියා වාක්‍ය ඉවර කරනත් ඉස්සරම මැදට පැන්නා.
‘ඒක ඉතින් ඒ ගීතය ලියපු තරුණයාගේ එවක පෙම්වතියට. වර්තමානයේ බිරිඳට.’ ප්‍රියා කිව්වේ කොක් හඬලා සිනාසෙමින්. ‘ඇත්තටම ඒක මගේ පුරුද්දක් බවට පත්වුණා පසුකාලීනව. පසුකාලීනව කියන්නේ ඇය මුණගැසීමෙන් පසුව. මම ලියන හැම ගීතයම මුලින්ම දුන්නේ ඇයට. ඇය තමයි මගේ පළමු රසිකාවිය වුණේ.’
‘මට හිතෙන හැටියට, මේ ගීතය තමයි ‘අමරසිරිගේ පීරිස් ගේ ගීතය’ බවට පත්වුණේ. පසු කාලීනව ඔහු විශිෂ්ට ඒ වගේම වඩාත් ජනප්‍රිය වූ නිර්මාණ බිහිකළත්’.
‘ඔව්. මම හිතන්නේ ඔබගේ කියවීම හරි. අමරසිරිගේ පළමු කැසට් පටයේ ප්‍රධාන ගීතය බවට පත්වුණේ මේ ගීතය. කැසට් පටයට නම තිබ්බෙත් මේ ගීතයේ පළමු පද පෙළින්, ‘සඳුද අවදියෙන්’ කියලා. තවත් එකක්, මේ ගීතය පටිගත කරලා ටික කලක් යනකොටම තමයි ලංකාවේ 88/89 භීෂණ යුගය ඇරඹුණේ. මිනිස්සුන්ට ගීත අහන්න හැකියාවක්, පරිසරයක් නැති අවධියක තමයි මේ ගීතය ජනගත වුණේ. නමුත් එවන් තත්ත්ව යටතේත් මේ ගීතය ජනප්‍රිය වුණා. ඔබ කිව්වා වගේ ‘අමරසිරි සලකුණ’ බවට පත්වුණා. ඒ වගේම මේ ගීතය තමයි ප්‍රථම සහ එකම ගීතය ඔහුට මම රචනා කරපු.
අපි දැන් මේ ගීතයේ ලයාන්විත පද පෙළ දෙසට හැරෙමු. ගීතයේ ස්ථායී කොටස දැනටම විස්තර වෙලා ඉවරයි. ‘සඳුද අවදියෙන්, තරුද අවදියෙන්, මේ නිශාන්තයේ ඔබ ළඟ නැති තව දිනක් උදාවේ තනිවුණු වසන්තයේ’. රාත්‍රිය ගෙවීයන්න මොහොතයි. මගේ සිතේ බියක් තියෙනවා. ඔබ ළඟ නැතිව ම මේ වසන්තයේ තනිවෙවිද කියලා’. එහෙම තමයි ප්‍රියා ගීතයට පිවිසෙන්නේ. අසූව දශකයේ මැද භාගයේදී යෞවනයෙකුගේ යෞවනයේ වීරත්වය වසාගෙන පැතිරෙන විරහවට ඇති බිය හදවතට තුරුළු කරගෙන.
ගීතයේ පළමු අන්තරා කොටස; ‘සීතල ඇති රූ මිහිලිය ලය මත , කොඳ කෙමි පිපුරුනි මධු පුරවා, උණුසුම දිසුනේ නෑ නෙත මානෙක, ඔබ ළඟ නැතිවම අද මා තනිවම’. මේ ගැන ඔබම කිව්වොත්?
‘මෙතැනදී සියලුම දෙනාට, ස්වභාවධර්මයට පවා සියලුදේ ලැබිලා. දහවල් දාහයෙන් ගිනියම් වූ මිහිලිය, එහෙම නැතිනම් මහ පොළොව සිසිල්වෙලා, රාත්‍රියට පිපෙන මල්වල පැණි පිරිලා ඉතිරිලා. නමුත් මම තනියම. වෙනදා දැනෙන උණුසුම මට අද දැනෙන්නේ නැහැ කියල තමයි කියන්නේ.’
‘මෙතන ඔබ කියනවා උණුසුම දිසුනේ නෑ’ කියලා. උණුසුම කියන එක දැනෙන දෙයක්නේ. ඔබ කියන්නේ පෙනෙන්නේ නෑ කියලා. එතන වැරදීමක්ද’?
‘නෑ.. කිසිම වැරදීමක් නෑ. උණුසුම දැනෙන්න තුරුළු කරගන්නම ඕන නැහැ. මෙතන තියෙන්නේ ආදරයේ ගැඹුරු බව. ඇයගේ කුටියේ පහන දැකීමෙන් දැනෙනවා ඇය කුටියේ සිටින බව. එය ස්ථිරයි. ඒ ස්ථිරත්වය හදවතේ ජනිත කරවනවා බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව තමයි උණුහුම. හදවතට, එතනින් මුළු සියොලඟටම දැනෙන උණුහුම. කුටියේ පහන නොදැකීමෙන් දැනේනේ ස්ථිරවම ඇය එහි නැති බව. හෙට නැවත නේවිද කියන අස්ථිර සිතිවිල්ල. සියොලඟම සීතල වීම.
‘මට හිතෙන හැටියට මේ ගීතයේ උච්චතම පදපෙළ තිබෙන්නේ දෙවෙනි අන්තරා කොටසේ අවසානයේ, ‘මගේම කඳුළක් වී පිනි බිඳු ලෙස, ඔබේ කවුළුව ළඟ පිපි මල් පෙති මත’.
‘ඔව්, එතන තමයි ගීතයේ උච්චතම අවස්ථාව. පළමු පදවල තියෙන්නේ ඔබ කුටියේ නැති බවට තියෙන සලකුණ. ඔබ නැවත නොපැමිණියහොත්, මම සදාකාලිකව තනිවෙන්නේ කඳුළත් සමග. ඉතින් ඒ හෙලන කඳුළු රාත්‍රී පිනිබිඳු ලෙසින් ඔබේ කුටිය අසල තියෙන මල් පෙති මත පතිත වී තිබෙන අයුරු ඔබට පෙනේවි. කුමන හෝ හේතුවකට ඔබ මට අහිමි වුවහොත් ඔබ දවස අරඹන්නට පෙර මගේ කඳුළු ඔබට පෙනේවි’.
ඔන්න ඕක තමයි ශ්‍රි ලාංකීය ගීත ක්ෂේත්‍රයට හිමිවුණු අමිල ගීතයක නිධාන කතාව. ඒ වගේම අරුත. අපේ කතාබහත් නිශාන්තය වෙතම ඇදිල ගිහිල්ල. තව දවසක් උදාවෙන්න මිනිත්තු කීපයක් ඉතිරි වෙලා, මේ ගීතය ලියවුණු වෙලාවේ වගේම සඳුත් තරුත් අවදියෙන් සිටින නිශාන්තයක මම ප්‍රියාට සමුදුන්නේ තවත් සති කීපයකින් මෙවැනිම කතා බහක නියැලෙන්නට දිනයකුත් වෙන්කරවා ගෙන මයි.
සුරංග දසනායක – ඩනීඩින්







