ශාන්ත පීටර්, ඇතුලට යන්නට හැදූ තරුණයා අවහිර කරමින් පර්ල් ගේට්ටුව වසා දැමුවේය.
‘ඇයි?’ තරුණයා විමතිය පළකරමින් අසා සිටියේය. ‘මම කවදාවත් නරක වැඩක් කරලා නෑ.’
ශාන්ත පීටර් නැවත පොත මුල සිට අගට, අග සිට මුලට පෙරලා බැලුවේය. ‘ඇත්ත.වරදක් නම් නෑ. ඒත් හොඳක් කරලත් නෑ නෙව?’
තරුණයා හිස කසමින් කල්පනා කළේය.
‘මම අහිංසක තරුණියක් බේර ගත්තා. ඒ වීරකම මදිද ඇතුළට පැන ගන්න?’
‘ම්හ්. ලියවෙලා නෑ. කිව්ව නං බලන්න. මං ට්‍රයි කරලා බලන්නම්.’ ශාන්ත පීටර උත්තර දුන්නේය.
‘තරුණියක්ව මංකොල්ල කාලා ඈට හිරිහැර කරන්න දරුණූ මංකොල්ලකාරයො රංචුවක්ම ආවා. මම එතනට ගිහින්, ඈට අතක් තිව්වොත් කුඩු කරලා දානවා කියලා ඔක්කෝටම තර්ජනය කළා.’
‘ඉතිං?’ ශාන්ත පීටර් පොතේ අලුත් පිටුවක් පෙරලා පෑන අතට ගත්තේය. ‘කියලා බලමු. ඊගාවට?’
‘උන් ඔක්කෝම ඇවිත් මාව වට කළා.’
‘න්..නෑ? පස්සෙ?’
‘නායකයා මං ගාවට ආවා.’
‘කොයි කාලෙ විතරද ඔය?’
‘මේ දැන් විනාඩි දහයකට විතර ඉස්සර.’
ශාන්ත පීටර් ගේට්ටුටවට ඉබ්බා දමා යතුර ඉනේ ගසා ගත්තේය.






