බුදුදහමේ කියවෙන පින සහ කුසල එකක්ම බවට මෙහි පළ වූ ලිපියක් නිසා මෙම සටහන ලියමි. පුද පූජාවන් ගැන එහි පවසන දේ ද විවිධ අයගේ හිතලු මිසක, බුදුන් වහන්සේ වදාළ නැති දේවල්ය. බුදුන් වදාළ ඉහළම පූජාව වන්නේ තමා විසින් පෙන්වා දුන් පරමසත්‍ය දහම අනුගමනය කරමින් අප තුළ මුල් බැස ඇති ලෝබ, ද්වේශ, මෝහ ප්‍රහාණය කිරීමකි.
කුසල සහ අකුසල යනු සත්ත්වයාගේ දුක් පැවැත්ම නැවැත්වීමට බුදුදහමේ ම පමණක් පෙන්වන අනුගමනය කළ යුතු සහ නොකළ යුතු (නිවන සඳහා ආන සහ පාන කළ යුතු) ද්වතාවයක් හෙවත් දෙපැත්ත වේ.
පුණ්‍ය සහ පාප යන දෙපැත්ත බුදුදහමේ පමණක් නොව වෙනත් බොහෝ ආගම්වල ද දක්වා තිබෙන, යහපත් පැවැත්මක් පවත්වා ගෙන යාම පිණිස කළ යුතු සහ නොකළ යුතු දෙපැත්තක් ලෙස දැක්විය හැක.
යමෙක් නිබ්බාණ මග අසා දැන ඉන් පසු දැන ගත් මග දැක ගන්න යන්නේ නම් මේ කුසල සහ පින යන දෙකෙහි වෙනස හොඳින්ම වටහා ගතයුතුයි.
කුසල යනු අත්හරින ක්‍රියාවකි. දහමේ කියවෙන්නේ මෙසේ අත්හැරිය යුත්තේ ලෝබ, ද්වෙශ, මෝහ තුන එකතුවෙන් නැතහොත් කෙලෙස් හෙවත් කුණු එකතුවෙන් කෙරෙන සියලුම ක්‍රියාවන්ය. ලෝබ, ද්වේශ, මෝහ තුනේ එකතුව කෙටියෙන් බුද්ධ යන්න මාගධීබසින් “තේසං” (සං තුන ) ලෙස දැක්වේ.
“යේධම්මා හේතු පබවා තේසං හේතුං තථාග තෝ ආහ” යනුවෙන් දහමේ සඳහන් වන්නේම, සියලු හේතුවල ප්‍රභවය මේ ලෝබ, ද්වේශ, මෝහ තුන් ආකාර හේතු හෙවත් තේසංහේතුං බව තථාගතයින් විසින් කියා තිබෙන බවයි. එසේම මේ කුණු මුල් තුන සලාහැරීම හෙවත් අස් කිරීම පින නොව “කුසල” ලෙස දැක්වේ.
දාන වැනි පුණ්‍ය කර්ම කිසිසේත්ම පහත් කොට නොසැලකිය යුතු බව බුදුන් වහන්සේ ද ප්‍රකාශ කර ඇත. ඒ අතරම යමෙකුට කර ගත හැකි ඉහළම පින වන්නේ මොහොතක් පරම මෛත්‍රිය පැතිර වීම බවත් එය බුද්ධාදී ප්‍රමුඛ මහා සංඝයා උදෙසා සිව්පසයෙන්ම දෙන දානයකටත් වඩා ඉහළ පුණ්‍ය කර්මයක් බව ද පවසා තිබේ.
ඒ සමගම මෙකී ඉහළම පිනටත් එහා ගිය මහත් ඵල මහානිසංස (එනම් සතර මගඵල) ලබා ගත හැක්කේ, අනිච්ච යනු කුමක්දැයි හරියාකාරව තේරුම් ගෙන වර්තමාන මොහොතක් පාසා එන ආරම්මණ නිසා සිදුවන ඇලීම්, ගැටීම්, මුලා වීම්වලට අප ගොදුරුවෙන ස්වභාවය (ලෝබ, ද්වේශ, මෝහ ස්වභාවය ) වටහා ගෙන ඒවායේ අනිච්ච භාවය මෙනෙහි කරමින්, නිච්ච ස්වභාවය “අත් හරිමින් කරනු ලබන” කුසලවලින් බවයි.
“හදයං පිනාති පුණ්ණං” ලෙස පුණ්‍ය ක්‍රියා බුද්ධ භාෂිතයේ හැඳින්වෙන අතර එහිදී ඒ ඔස්සේ රෝද ගැසීමෙන් නැතහොත් සංචේතනා පවත්වමින්(චේතනා හං) සියුම්ව හෝ තම සිතේ ලෝබයක් සහ යම් මැනීමක් හෙවත් මානයක්(මෝහී තත්වයක්) ඇතිවීම සිදු වුවහොත් එම පුණ්‍ය ක්‍රියාව යහපත් වුවද එතැන සිදුවන්නේ කුසලයක් නොව එකතු කිරීමක්, කර්මයක් හෙවත් අකුසලයකි. නමුත් පාප කර්මයක් නොවේ.
ත්‍රිපිටකයේ පෙන්වාදී ඇති පරිදි නිබ්බාණ මග යාමට නම් “පුණ්‍ය පාප පහීනස්ස” ලෙස දක්වා තිබෙන්නේ ඒ නිසාවෙනි. මෙයින් කියවෙන්නේ පින් කරන්න එපා කියා නොවේ. සියලුම පාප කර්ම නොකරම අත්හරින ලෙසත් පුණ්‍ය කර්මයක් කළ වහාම එම පිනෙන් තමන් කිසිවක් අපේක්ෂා නොකර එම පින තම මියගිය ඥාතීන් ඇතුලු දුක්ඛිත සියලු ලෝක සත්වයින්ටම පවරා අනුමෝදන් කර කුසලයක් බවට පරිවර්තනය කරගන්නා ලෙසයි. ඒ පින් ඥාතීන් හෙවත් ණයකාරයින්ට අනුමෝදම් කර පැවරීම නිසා ඥාතීන්ට තිබෙන ණය ගනුදෙනුවලින් නිදහස් වීමක් සිදුවන බවයි. එසේ ණයෙන් මිදී නිදහස් වීම හෙවත් එම ණය විණය කිරීමක් කර නොගෙන ඒ සංසාරණය ගනුදෙනු ඉතිරිව පවතින තාක්කල් සත්වයා ඒ ණය ගෙවීමටම සසරේ ගමන් කරන බව දහමේ කියවේ.
කර්ම යනු කළ පසු ඒවා පල දීමට හේතුවන නිසා නැවත උපතකට හේතුවන ක්‍රියාකාරීකම් වේ. නමුත් කුසල යනු කර්මයක් නොවේ. එය අත්හරින දෙයකි. ඒවා කුසල ධම්ම ලෙස දැක්වේ. එනිසා පුණ්‍ය, පාප, අකුසල යන තුන් ආකාරයේ ක්‍රියාවන්ම කර්ම ඝණයට වැටෙන අතර කුසල හෙවත් කෙලෙස් කුණු අත්හැරීම නිබ්බාණ මග යාමට උපකාරී වන එකම ධම්මතාවය වේ.
කෙසේ නමුත් යමෙකු කරනු ලබන පුණ්‍ය කර්මයන් ද එසේ අනුමෝදම් කර නිබ්බාණ මග පිණිසම අත්හැරීම කරමින් යන විටක නිබ්බාණ පූර්ණ ලෙසට සාක්ෂාත් වීමට ප්‍රමාණවත් ලෙසට කුසල පූර්ණය වීම සිදු නොවුණ හොත් එනම් සියලු උපාදානයන්ගෙන් නොමිදුනහොත් ඒ කළ පින් තමන්ට අහිමිවේ යයි සිතීම ද මුලාවකි. හේතුව පින් යනු නිබ්බාණය සාක්ෂාත් නොවුණහොත් අනුමෝදම් කර පවරන්න පවරන්න ඊ ළඟ උපත්වල දී තවත් ඉහළින්ම ඵල විපාක දෙන ධර්මතාවයක් ඇති කර්ම වන නිසාය.
“සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසංපදා
සචිත්ත පරියෝදපණං
ඒතං බුද්ධාණුසාසනං”
By Nimal Wannigama – Auckland
wannigama@xtra.co.nz