fbpx
12.1 C
New Zealand
Sunday, November 22, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

යළි උපදින සතුටු සමය | උම්රා මුසාෆර් | ශ්‍රී ලංකාව

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සතුටු කාලය අවසාන වීගෙන එන පහුගිය මාස කිහිපයම මහා බර කන්දක් උහුලන දවස් ටිකක් වෙලා තිබුණා. ජීවිතයේ අධිවේගී මාර්ගවල සැරිසරන, ගතට වඩා ඉක්මනට හිත හෙම්බත් වෙන, සතුටු කාලය කියලා නිර්වචනය කරන් හිටපු දවස්වලට සැඳෑ අඳුර ගලමින් තිබුණා..

සාමාන්‍යයෙන් සමනලියකුගේ පියාපතක රටාවල සමමිතිය හොයන, හෙන්දිරික්කා පැලේ මල් පෙති ඇහැරෙන්නේ කොයි වෙලේද කියලා දෑස් නොපියා බලාගෙන ඉන්න, ඈත කඳු වළලු වටා දුවන තරඟයේ දිනන්නේ වළාකුළු ද මීදුම ද කියලා ගණන් කරන, රෑට තරු පිරුණු අහසේ කලින්ම නිදාගන්නේ මොන තරුවද කියලා හිතන මගේ මේ ළමා ආත්මයට Excel Sheet, Coordination, Analysis හරි බර වැඩීද කියලා හිතුනා.

ඉඳහිටක කොළඹ මහා මැද ජනාකීර්ණ සෙනඟ අතරේ නොදන්න මුහුණු බොඳ වෙද්දී, හවසකට මීටින් තුන හතර එක දිගට පැය ගණන් ඉවර වෙන වෙලාවක පොළොව හෙලවෙනවාදෝ සිතෙද්දී, මම වැඩ කරන මේසේ දෙපැත්තේ තියෙන නිල් මුහුද ගොඩනැගිලි ඇවිදගෙන යනවා වගේ පෙනෙද්දී මට හිතෙන්නේ මම උහුලන බර වැඩියි කියලයි. හැබැයි දන්නවද මේ තෙරක් නොපෙනෙන ගමනේ වෙහෙසකම වරුවක,

මට මුණ ගැහෙනවා හඳක්
ලස්සනට ජීවිත මුහුදට ඉහළින් පායලා, වළාකුළු අතරින් මං දිහා බලන
සතුටු කාලෙ තාමත් එහෙමමයි ළමයෝ කියලා කොඳුරලා කියන…

තාලෙට යන කෝච්චියක්
කොළඹ ඉඳන් අපේ ගමට පැද්දී පැද්දී හෙමින් යන..
කියනවා වගේ මට වංගු පීලිවලදී හෙමින් යමු, මම ඉන්නවානේ, වෙන්නම් සහනයක් ඔයාට…

රසම රස නැවුම් තේ සුවඳින් මුසු වුණු ඉඟුරු තේ එකක්
ටිකක් සැර බොහෝ පැණි රස,
දැනෙනවා මට මම නිවෙනවා
මොකක්ද අනේ මේ මැජික් එක…

හදවතට කතා කරන පහස පිරි වචනයක්..
ගතේ බය නිවාලන මහා ලොකු අත් දෙකක්..
නාඳුනන මගියෙකුගේ කාරුණික ඇස් දෙකක්,
ආයෙමත් යනවා මම සතුට සමයේ වරක්…

එහෙමත් වෙහෙසකර දවසකට දැන්නම් මට හිතෙන්නේ දෙවියන් එහෙමත් නැත්නම් විශ්වය අපේ ජීවිතයට හරි ලස්සන සනීප ආත්ම ළං කරනවා කියලා. සමහර විට මේ දුවන ගමනේ අපි නිවන තැන වෙන්නේ මහා ලොකු දේවල් නොවුණත් හුදෙක් හඳක්, කෝච්චියක් එහෙමත් නැත්නම් දුම් දාන රස ඉඟුරු තේකක් වෙන්නටත් පුළුවන්.

ඉතින් ස්තූතිවන්තයි මේ ගෙවෙන දවස්වලට. තරු රටා යා වෙලා මුණගැහෙන මිනිසුන්ට, දැවෙන මහන්සේ වුවත් නිවාලන අහසකට, ආදරෙයි ආදරෙයි ජීවිතය මම ඔබට.

උම්රා මුසාෆර් – ශ්‍රී ලංකාව

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.