fbpx
21.8 C
New Zealand
Saturday, March 2, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

යුග-යුග සපථ වනකුවේණිය අපේ දේශයට කළ ශාපය | ආචාර්ය ගාමිණී කාරියවසම්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

01. හෙළ දිවයින සිව් දිග් භාගයන් ගෙන් විනාශ වේවා! ජාතික නායකයන් විනාශ වේවා!
02. විදේශ ආක්‍රමණිකයන්ට යටත් වේවා! හෙළයාගේ අපේකම නැතිවේවා!
03. හෙළය  දෙකඩ වී මුහුදුබත් වේවා ! බුද්ධිය හීන ජාතියක් බිහිවේවා!
04. අව්, වැසි, සුළං, සමුදුරු විපත් ඇතිවේවා!ලෙඩ දුක් නිරන්තරයෙන් පැතිරේවා!
05. නිනව්වක් නැති වල්මත් ජාතියක් බිහිවේවා!          

කුවේණිය  සිංහල සමාජයෙහි අප කවුරුත් අසා ඇති, අපේ දේශීයේ වෘතාන්ත ගත අද්විතීය  කාන්තාවකි. එපමණක් ද නොව කුවේණිය යනු ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික මතකයේ විචිත්‍රවත් චරිතයකි.  හෙන්රි ජයසේන  කලා ශිල්පියා කුවේණිය  වේදිකා නාට්‍යය තුළින්, ඇය පිළිබඳව මතකය ලාංකේය ජන සන්තානහි   අමරණීයතත්වයට පත් කිරීමට සමත් විය. කුවේණිය පිළිබඳ ඉතිහාසයේ දැරූ සමාජ ආකල්ප කුවේණි නාට්‍ය  තුළින් මැනවින් පිළිඹිබු වේ.  

මන්ත්‍ර මායා ජප කරන්නිය –   සක්වලින් මාරුත ගෙනෙන්නිය
භූත වෙස් ගෙන සැරිසරන්නිය – සයුරු නැව් ගිල්වා මුහුදු දිය කළඹා
රත් නුවන් අහසට බමන්නිය  – රත් මලින් සියොලඟ සදන්නිය
රන් දළින් නරයන් බුදින්නිය –  නොදන්නෝ කවුරු කුවේණිය රුදුරු  

කුතුහලය දනවන සුළු වූ තොරතුරු සමුදායක් කාලයාගේ වැලි තලාවෙන් වැසී යමින් පවතී. වසර ගණනාවකට ඉහත මා  මහනුවර සහ රත්නපුරයේ රාජ්‍ය සේවයෙහි  නිරතව සිටි අවදියේ, සති අන්තයේ ඓතිහාසික වැදගත්කමක් සහිත ස්ථාන පිහිටි ප්‍රදේශයන්හී සංචාරයේ යෙදෙන්නට අවකාශයක් සලසා ගතිමි. එම ගමන්වල දී අදාළ ස්ථාන නැරඹීමට අමතරව ඒ අවට ගමේ පැරැන්නන් හමු වී තොරතුරු උකහා ගැනීමෙන් නොමද වින්දනයක් ලැබීමට ද මවෙත  අවස්ථා උදා විය. රසපුරිත තත් තොරතුරු සහ ගැමි ජනප්‍රවාද  මතකයෙන් බැහැරව යාමේ අවදානමෙන් මිදෙන්නට මම ඇසූ දුටු සියල්ල දින පොතේ සවිස්තරව සටහන් කර ගැනීමට උනන්දු වීමි. මෙම ලිපිය සැකසීම සදහා එම තොරතුරු සහ ඓතිහාසික වාර්තා බෙහෙවින්ම උපයෝගී වූ බැව් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.  

කුවේණියගේ  ජීවිත කතාවේ මූලික මූලාශ්‍රය මහවංශයයි. එනමුදු කුවේණිගේ පමණක් නොව මුළුමහත් යක්ෂ ගෝත්‍රික පරම්පරාවේම ප්‍රවාද සංගෘහිත ප්‍රධාන පුස්කොළ පොත් කාණ්ඩ දෙකක් ඇති බව දන්නෝ විරලයහ. එම පුස්කොළ පොත් ලියැවීම ඇරැඹී ඇත්තේ මහාවංශය රචනා වීමටත් පෙර ආදී රාවණ යුගයේ සිටය. යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ඉතිහාසය ඇතුළත් ප්‍රථම පුස්කොළ පොත ලෙසින් සැලකෙන්නේ  “යගු කෞරාණය” ග්‍රන්ථයයි. දෙවැන්න “වරිග පූර්ණිකාව” නම් යක්‌ෂ ගෝත්‍රිකමූලාශ්‍ර තොරතුරු ඇතුළත් පුස්‌කොළ ග්‍රන්ථයයි. “වරිග පුර්නිකාව” පුස්‌කොළ ග්‍රන්ථය සම්පාදනය කරනු ලැබුවේ ශ්‍රී රාජාධි රාජසිංහ රජ සමයේ ශ්‍රී බෝධි වංශාභිධාන හිමියන් විසිනි. එම ග්‍රන්ථයන්ට අනුව කුවේණියගේ මව රත්නවලීය. කුවේණියට “සත්තමුදී” නමින් නැගණියක් ද සිටි බව එම පුස්කොළ පොත්හී සදහන්. එම යුගයේ යක්ෂ ගෝත්‍රිකයින් අතර රවිශෛලාෂ, කේවේසස්ථාන, මිණිමිහිල, රක්ඨාන යනුවෙන් සිව් මහා කුලයක් පැවති බැව් තත් පුස්කොළ පොත් අනාවරණය කරයි.

කුවේණිය ලොව මුල්ම රැජින ලෙසින් සැලකිය හැකි බවට මතයක් අරිසෙන් අහුබුදු ශුරීන් විසින්  සමාජ ගත කර තිබිණි. එතුමන් ඒ බැව් සත්‍යාපනය කරන්නට කදිම සාක්ෂියක් ද ගෙන හැර දැක්වීය. එනම්,QUEEN යන රැජිණිය අන්වර්ථනය කෙරෙන ඉංග්‍රීසි පදය මුල් කරගෙන කුවීන් >කුවේන > කුවේණි යන නම  ව්‍යවහාර ගතව පැවති බවයි. ඇයගේ අතීත ව්‍යවහාරිත නම සේසපති ලෙස සැලකේ. යකින්නක් වූ සේසපති, විජය තම්මැන්නාවට ගොඩබට අවස්ථාවේ, ඇය කුවේණිය නමින් සිය වේශය රූමත් කාන්තාවක් ලෙසවෙනස් කර ගෙන විජය කුමරුන් ආකර්ෂණයට පත් කර ගැනීමට සමත් වුවාය. කුවේණිය කිරි අම්මලාගෙ අත්තෝ යනුවෙන් වැදි  සමාජයෙහි දේවත්වයෙහි ලා සලකති. තවත් ජනප්‍රිය පුරාවෘත්තයක් වන්නේ ඇය සමන් දෙවිදුන්ගේ වැඩිමහල් සහෝදරිය බවයි. 

ඉපැරණි,අප්‍රකට තවත් ජනප්‍රවාදයකට අනුව රාවණාගේ ඥාතිවරියක්වූ මසිතිපාලි සහ විකුම්ඨභද්‍ර සෙන්පති කුවේණියගේ දෙමාපියන් ලෙස සැළකේ. ඇය කෞරාණපාලි නම් වුවාය. කෞරාණපාලිය ගේ නම පසු කාලෙක මහාපාලි හා කුවේණිය නමින් වෙනස්වූ බව ද සැළකේ. කුවේණිය ගුප්ත විද්‍යාව ප්‍රගුණ කළ තැනැත්තියක ලෙස ද පිළි ගැනේ. මානාකන්දේ බිසෝග්‍ර නමින් වන ස්ථානයේ ඇය දැහැනට සමවැද, වරම් හිමිකර ගත් බවට ඒ අවට ගම්මුන්ගේ විශ්වාසයක් පවතී. සත්තමුදී නම් කුවේණියගේ සොහොයුරිය ද මානාකන්දේ අසපුවක ඉසිවරියක ලෙසින් ජීවත් චූවාය.

විජය කුමරු ක්‍රි.පූ 5 වන සියවසේ, සිය අනුගාමිකයන් හත්සියයක් සමඟ තම්බපන්නි වෙත ගොඩබසින අවස්ථාවේ මෙම දිවයින දුටුවේ මිනිස් වාසයෙන් තොර කොදෙව්වක් ලෙසිණි. විජය ඇතුළු පිරිසට වෙරළෙහි  සුනඛයෙකු දැක ගන්නට ලැබිණි. එම නිමිත්තෙන්, දිවයින මිනිස් වාසයෙන් සපිරි බව අවබෝධ කර ගත්  විජය, තම පිරිසට සත්වයා පසුපස ගොස් තොරතුරු සොයාගෙන එන ලෙසට නියෝග කළේය. ගිය පිරිසෙන් කිසිවකු ආපසු නොපැමිණියෙන්, විජය තම පිරිස ගිය දෙසට පියමන් කළේය. රූමත් යුවතියක් කපු කටිමින් සිටිනු ඔහු නෙත් ගැටිණි. පිරිසෙහි කිසිවෙකුත් ඒ අසළ නොවීය. “කුවේණි අස්න “ කාව්‍යයේ එන මෙම  චිත්ත රූපී කවිය එම අවස්ථාව සජීවී ලෙසින් මුර්තිමත් කෙරේ. 

‘‘ මටසිලිටු වටොර පිට තබා
රන් ඉද්ද නමවමින් සොද සුපුල් සපු මල් දමෙව්
සළෙල මොළකතෙහි මුල පැපෑ…
මඳින් මඳහසින් නුවනගින් බලා කපු කටින්නිය… ’’  

විජය සිය කඩුව අමෝරා  කුවේනි වෙත කඩා පැන තම මිනිසුන් නිදහස් නොකළහොත් ඇය මරා දමන  බවට  තර්ජනය කළේය. කුවේණිය සැණෙකින් විජයට අවනත වුවාය. සිය ඉන්ද්‍රජාලික බලයෙන් අදූර්ශ්‍යමානත්වයට පත්කොට සිටි පිරිස ඇසිල්ලකින් විජය ඉදිරියේ ප්‍රාදුර්භූත කිරීමට ඇය යුහුසුළු වුවාය.     අනතුරුව කුසගින්නෙන් පසුවූ විජය තමන් හා පිරිසට ආහාරයට යමක් ඉල්ලා සිටියේය. වෙරළ ආසන්නයේ නවතා තිබූ නෞකාවෙන්, ඇය පිරිසේ සියලු දෙනාට ආහාර සැපයූ අයුරු ද වංශ කතා කතුවරයා සදහන් කරයි. මෙම සදහනෙන් අපට හැගෙන්නේ කුවේණිය තම්බපන්නි දේශයේ පමණක් නොව ඒ ආශ්‍රිත සමුද්‍ර කලාපයෙහි ද සිය අනසක, බල පරාක්‍රමය  පතුරුවා සිටි සෙයකි. 

කුවේණිගේ ළමැඳ පියයුරු තුනක් පිහිටා තිබූ බව පැවසේ. ඉන් මැද පියයුර අතුරුදහන්වූ සැනින් ස්වාමියෙකු හිමි වන බැව් ඉසිවරයෙක් විසින් ඇයට අනාවැකියක් පළ කර තිබු අතර කුවේණියට විජය හමු වූ සැණින් මැද පියයුර මැකී ගිය බැව් රාජාවලියේ හා කුවේණි අස්නේ සදහනි. විජය හා දැඩි ලෙස පෙමින් වෙළුණු   කුවේණිය විසින් සිය විජිතයේ හිමි කාරත්වය ද විජය වෙත පවරණ ලද්දීය. තමාව කොයි මොහොතේ හෝ සිය නෑ සියන් විසින් මරා දැමීමේ අවදානමක් පවත්නා බැව් කුවේණිය විජයට දැනුම් දීමේ ප්‍රතිපලයක් වශයෙන්, ඔහු ඒ සියල්ලන් සමූල ඝාතනයට පත් කළේය. 

විජය මේ දිවයිනට සැපත් වුයේ,තඹ පැහැ වැල්ල හේතු කොටගෙන තම්බපණ්ණි යනුවෙන් හැඳින්වූ කුදිරිමලේ තොට හෙවත් අශ්වකන්ද නම් උස්  මුහුදු තීරය වෙතය. මෙම ස්ථානය වර්තමානයේ විල්පත්තු ජාතික අභය භුමිය ඉම වෙරළ තීරයේ පිහිටි කුදිරමලෙයි නම් ස්ථානයයි. අතීතයේ මෙම ස්‌ථානහි, ඉදිරියට පාදය ඔසවා ගෙන සිටි අශ්වයකුගේ විශාල රුවක්‌ තිබීමේ හේතුවෙන් අශ්ව කන්ද යන නම ව්‍යවහාර වන්නට වූ බව සැලකේ. ක්‍රිස්‌තු පූර්ව දහයේදී  කුදිරමලේ ප්‍රකට ජාත්‍යන්තර වරායක්‌ව තිබූ බැව් ප්ලීනි (ක්‍රි.ව. 24-79) නම්වූ රෝමන් ලේඛකයා තැබූ සටහනකින්  තහවුරුවේ. 

තවත් ජන ප්‍රවාදයකට අනුව, විජය මේ දිවයිනට සම්ප්‍රාප්තව කෙටි කලකින් ඔහු දරුණු කුෂ්ඨ රෝගයකින් පෙළෙන්නට විය. එය සුවපත් කර ගැනීම පිණිස උණුසුම් දේශගුණික කලාපයක්වූ මුහුදුකරයෙන් ඉවත්ව සිසිල් දේශගුණයක් සහිත ප්‍රදේශයකට යන ලෙස, කුවේණියගේ වෛද්‍යවරයා විසින් උපදෙස් දෙනු ලැබිණි. 

ඒ සඳහා ඔවුන්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුර්ලභ ඔසු පැල බහුල දොලුකන්ද කදු පෙත තෝරා තෝරා ගත්හ. කුවේණිය විසින්  විජය කුමරුන් දොළුකන්ද මුදුනේ ගල් ලෙනක රඳවා අවශ්‍ය  ප්‍රතිකාර සලසනු ලැබිණි. එම කාල වකවානුවේ කුවේණියගේ නවාතැන් පොළ වුයේ දොළුකන්ද පෙනෙන දුරකින් පිහිටි කුවේණිගල නමින් හැඳින්වෙන කුඹුක්ගැටේ ග්‍රාමයෙහි පිහිටි ගල් පර්වතයයි. කුවේණිය දිනපතා රාස්සියගේ  තඹවන්  අව්රැල්ල වැටෙන මොහොතේ ගල මුදුනේ සිට තම ඉතා දිගු කෙස්වැටිය පහලට දමා හිස පීරන අතරතුර, විජය කුමරුට ප්‍රතිකාර කටයුතු සිදුකරන දොළුකන්ද දෙස බලාසිටි බවද පැවසේ. කුවේණිය සිත්හි විජය කුමරුන් කෙරෙහි පැවතී අචල ප්‍රේමනීය සබැදියාව මෙමගින් කදිමට පැහැදිලිවේ. 

කුවේණිය හා විජය අතර  අවියෝජනීය බැදීමක් පැවතිය ද විජයට නිරන්තරයෙන් ම සිහිපත් වුයේ ඇය අධිමානුෂිකතත්වයකින් හෙබි යක්ෂ ගෝත්‍රික කාන්තාවක් බවය. මෙම මානසික ස්වභාවය නිසා විජය ජීව හත්ත, දිසාලා තමදරු දෙදෙනා මාලිගාවේ තබා ඇයට පිටව යන ලෙසට බලපෑම් කරන්නට විය. තම නෑ සියන් සියල්ල ඝාතනය කොට, තමන් වෙත පැවරී පැවති රාජ්‍යත්වය ද විජය වෙත පවරාදුන් තමාට, දරු දෙදෙනෙකුද ලද පසුව මාලිගයෙන් පලවා හැරීමට තැත් කිරීම පිළිබඳව ඈ තුළ මහත් සන්තාපයක්, කනස්සල්ලක් ඇති විය. 

කුවේණිය තම රජ වාසලින් පලවා හැරීම විජයට එතරම් පහසු කාර්යයක් නොවීය. කුවේණිය වාසලින් පලවා හැරීම නිසි ලෙස සැළසුම් කර ගන්නා තෙක්, විජය රජු තමා හට විවාහ වීමට මධුරා පුරයෙන් ගෙන්වා ගත්   ක්ෂත්‍රීය කන්‍යාව විල්බාව ප්‍රදේශයේ ගල් ලෙනක සගවා තැබීමට උපායශීලී විය. කුවේණියගේ යෙහෙළියක ගෙන් මධුරා කුමරියගේ ආගමනය හා ඇය රදවා ඇති ස්ථානය දැනගත් කුවේණිය මධුරා කුමරිය මැරීමට එම ගල්ලෙන වෙත දිව  ගියාය.ගල් ලෙන් දොර හිඩැසකින් බලන විට කුවේනියට එතුළ සිටි රූමත් මධුරා කුමරිය ඇස ගැසිණි. 

දැඩි ක්‍රෝධයෙන් පීඩිත කුවේණිය ලෙන් දොර හිඩැස් අතරින් තම ඉන්ද්‍රජාලික දිව යොමා ඇය මැරීමට උත්සහ ගති. එම අවස්ථාවේ තියුණු කටු සහිත මස් ගොබයක් පරිද්දෙන් කුවේණියගේ දිව ලෙන තුලට දික්වන අයුරු දුටු මධුරා කුමරියගේ ආරක්ෂාවට සිටි සෙනෙවියා තම කඩුව ගෙන කුවේණියගේ දිව දෙපළු කර ඇති බැව් පැවසේ. හටගත් අධික වේදනාවෙන් ලතෝනි දෙමින් ලේ පෙරමින් දිව ගිය කුවේණිය මහ මග මොරගොල්ලාගම ඇහැටුවැව නම් ස්ථානයේ ඇදවැටී මියදුනාය. එදවස සිට මෙම ස්ථානයේ කුවේණිය නමින් මහානුභාව සම්පන්න දේවාලයක් ඇරඹි අතර, වර්තමානයෙහි පවා කුවේණියගේ දේව පිහිට පතමින් මෙහි බැතිමතුන් පැමිණෙන බැව් ගම් වාසීහූ පවසති. ගම්වාසී වැඩිහිටියකු පැවසුවේ කුවේණි දෙවොලේ කුවේණී දැහැනින් එහි පැමිණෙන බැතිමතුනට ආරක්ෂාව සලසා දෙන බවය. කුවේණි දැහැන ආරම්භයේදී එහි කපු මහතා “ ඕම් තිල්ලුම් පෙරුයුමා පුර්ව දේවී කුවේණි දේවී අම්මා වර වර නමෝ …”යනුවෙන්  කුවේණියගේ ආත්මයට දේවාලයේ මල් ආසනයට වඩින ලෙස ආයාචනය කරන බව ද ඔහු අප හා පැවසීය.  

කුවේණි කෝවිල් කිහිපයක් දිවයිනේ ස්ථාන කිහිපයක පිහිටුවා ඇති අතර අනුරපුර කලා වැව ඉස්මත්තේ ඉපැරණි කුවේණි කොව්ල ඒ අතර ප්‍රධාන තැනක් ගනී. මීට වසර කිහිපයකට පෙර දකුණේ ද කුවේණිය වෙනුවෙන් කැපවූ දෙවොලක් ස්ථාපනය කර ඇති බැව් දැනගන්නට ලැබිණි. එය පිහිටියේ මාතර දුම්රියපොළ පාරේ අතීතයේ සිට පැවැතියා වූ  මාතර කතරගම දේවාල පුදබිමේය.විජය කුමරු ඇයගේ දේහය විල්බාවට ගෙන ගොස් ආදාහනය කරවා, භෂ්මාවශේෂ  එම ග්‍රාමයේම පිහිටි බඹරගල කන්දේ සොහොන් කොතක තැම්පත් කළෝය.

කුවේණියගේ අවසානය පිලිබදව, ඉහත සිද්ධියට හාත්පසින් ම වෙනස් ජනප්‍රවාද කිහිපයක් ජනශ්‍රැතියේ සදහනි. එක් ජනප්‍රවාදයකට අනුව විජය තර්ජනය කරකුවේණිය රජ වාසලෙන් පළවා හැරි අවස්ථාවේ  කුවේණිය තම නිජබිමවූ ආනමඩුව ප්‍රදේශයේ තෝනිගල වෙත පළා ගිය බවත්, එහි  ජීවතුන් අතර සිටි යක්ෂයින් වෙතින් ඇය ඝාතනයට පත්වූ බවත් කියවේ. තවත් ප්‍රකට ජනප්‍රවාදයකින් කියවෙන්නේ කුවේණිය කුරුණෑගල මින්හෙට්ටිය ග්‍රාමයෙහි පිහිටි යක්දෙස්සාගල පර්වත වෙත පැමිණ, පර්වතයෙහි මුදුනටම පියමන් කළ බවය. දුක, කඳුළු සහ සන්තාපයෙන් වෙළුණු කුවේණිය තම හදවතෙහි ජනිත ක්‍රෝධයෙන් දෑත් අහස්  කුසට දිගු කරමින් මුළු මහත් තම්බපන්නි දේශයටත්, විජය ඇතුළු මතු මෙරට බිහිවන සියලුම රාජ්‍ය  පාලකයින්ටත් බලවත් ලෙස ශාප කළාය. යකින්න >දෙස් >ඉල්ලු ගල > යක්දෙස්සාගල නමින් ප්‍රකටවූ බැව් ඒ පෙදෙසේ  පවත්නා  ජන විශ්වාසයයි.

මා පළවා හැරි මේ ගුණමකු රජුන් ඇතුළු
මේ දිවයින මතු බිහි වන සියලුම නිරිදුන්
දෙරණ රක්නා දෙවියනි
අහස උසුලන දෙවියනි
මුහුද අරක්ගත් දෙවියනි
වැස්ස වලාහක දෙවියනි
ගින්න, කුණාටුව, ගං වතුර
අකුණු සැර හා ගිගුරුම් දෙදරා
මට කළ වින්නැහිය බලනු මැන
කෝපය, ඝෝෂාවෙන් මතු කරවා දෙරණ දෙදරවා
කෝපයෙන්, කෝපයෙන් හා ගිනිදැල්වලින් අහස!
මුහුදු ගොඩ ගලා, සියල්ලන් ගිල දමත්වා
නිරිදුන් හිස් මත හෙණ ගිගුරුම් වැදීයන්
සෑම සිරුරක් දැවෙන ගින්නෙන් දැවීයන්
රෝග හා සදාකාලික වේදනාවෙන්
සොබා දහමේ බෙලෙන් ඔවුන් නිති පෙළත්වා. 

විජය තමා වරිගෙන් පිටමං කිරීම සහ තමා  අතහැර දැමීම පිළිබදව දැඩි ප්‍රකෝපයට පත් කුවේණිය හෙළ දිවයිනට- සිහල වරිගෙට කළ උග්‍ර ශාපයෙහි අවසන් වදන කුවේණිය දෙතොලගින් මුළු මහත් කදුකරයම දෝංකාර ගන්වමින්  විසිරෙනවාත් සමගම, ඇය කදු මස්තකයෙන් පැන දිවි හානිකර ගත්  බැව් ජනප්‍රවාද ගතය. කුවේණියගේ නම විධ ශාපයන් වරිගපුර්නිකාවේ සවිස්තරව දැක්වේ. 

”දිවයින සිවු දෙසින්ම විනාශ වේවා…
සිංහල
ජනතාවට නායකත්වය දෙන පාලකයින් විනාශ වේවා…(චාපූර්ණ ශාපය)
සිංහල ජාතිය, පිටස්තර ජාතීන්ගේ  ආක්‍රමණයන් ගෙන් විනාශ වේවා…(විථුල ශාපය)
මේ රටේ
සිංහලයාගේ අපේකම, ලේ බැඳීම නැතිවේවා…(පග්ගි මවුරි ශාපය)
එකාට එකා කා කොටා ගනිල්ලා…(නිමි
මිනිස ශාපය)
ලංකා පොලෝ තලය මැදින් දෙකඩවී මුහුදේ ගිලීයන්…(තග්නිකා ශාපය)
ලංකාවේ බුද්ධිය හීනවූ ජාතියක් ගොඩනැඟියන්…(හරිවිත් ශාපය)
මුහුදු විපත්, සුළං විපත්, වර්ෂාවෙන් විපත් ලැබේවා …
සුව කළ
නොහැකි ලෙඩ දුක් වහ වහා පැතිරේවා…
මහ මුහුදේ පාවෙන ලී දණ්ඩක රළ පාරට අහුවෙලා තැන තැන ගසා ගෙන ගොස්, ගිලෙමින් යනවා ලෙසින්  කිසිදු ප්‍රතිපත්තියක් නැති මිනිසුන් ලංකාවේ බිහිවේවා…” 

කුවේණිය විසින් මුළු මහත් රටට කළ ශාපය සත්‍ය හා මිත්‍යාව අතර දෝලනය වන සෙයක් හැගේ. ඈත අතීතයේ සිට මෑත යුගය දක්වාවූ කාල පරාසය තුළ ශ්‍රී ලංකා ජන ජීවිතයෙහි හා පාලනතන්ත්‍රයෙහි හැසිරීම් රටාව මානසික ස්වභාවය සහ දේශයට  මුහුණ පෑමට සිදුවූ විවිධ ව්‍යසන කුවේණිය තම ශාපයෙන් , ඇය  අපේක්ෂා කළ අරමුණු දේශය මුළුල්ලෙහි සක්‍රීයව ඇති සෙයක් ප්‍රකට කරවන සුළුය.  

 කුවේණිය විජය හා දේශයට ශාප කරමින් යක්දෙස්සාගල කදු මුදුනින් පැන ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුව  දිවිදෙනෙක් වී උපත ලද බව ද වරිගපුර්නිකා පුස්කොළ ග්‍රන්ථයෙහි සදහනි. ක්‍රෝධ භරිත මෙම දිවි දෙන විජය නිදන අවස්ථාවල සිහිනයෙන් නිරන්තරයෙන් තම රත් යවටක් වන් දෑසින් ගිනි පුලිගු විහිදුවමින්, දිගු දිවක් මවා ගෙන විජයගේ පපුවට දිව දිගු කොට මරණ බය ජනනය කළාය. මෙම භයංකර ස්වරුපය  කුවේණියගේ දිවිදෝෂය ලෙසින් හැදින්වේ.

කුවේණිගේ ශාපය මුලින් ම ප්‍රබල ලෙස බලපානු ලැබුවේ,ජයගෙන් පසුව රාජ්‍යත්වයට පත් පඩුවස්දෙව් නිරිදුන්( ක්‍රි.පුර්ව 504-474 )කෙරෙහිය. පසු කල ලියැවුණු ‘‘රාජාවලිය’’ නම් ග‍්‍රන්ථයේ පඩුවස් දෙව් රජුට එල්ල වූ දිවි දෝෂය මැඩලීමට කොහොඹා කංකාරිය නම්  දීර්ඝ දුෂ්කර යාගයක් කළ බැව් සදහනි.  

කෝට්ටේ හය වැනි පරාක‍්‍රමබාහු රජු ( 1415-1467 ) වටා පැතිරී සතුරු බියත්, හටගත් රෝග ආබාධත් දුරු කර වීමේ   අභිලාෂයෙන්, කුවේණි ගේ ශාපයෙන් මිදීම පිණිස තොට ගමුවේ සිරි රහල් තෙරිදුන් විසින්,වෘත්තගන්ධි ගද්‍ය ශෛලියෙන්  කුවේණි අස්න නිර්මාණය කරනු ලැබිණි. කුවේණි අස්නේ විජය කුවේණි ඉපැරණි පුරාවෘත්තය වර්ණනා කරන කතුවරයා අවසානයේ දී දේව කන්නලවුවකින් පරාක‍්‍රමබාහු රජුට ශාන්තිය ලැබේවා යි ප‍්‍රාර්ථනය කිරීම මේ ප‍්‍රබන්ධයෙහි අන්තර්ගතය වේ. 

කුවේණි අස්න කතු යතිවර රහල් හිමි කුවේණිය හදවත නිපන් විප්‍රයෝගය, සජීවී ලෙසින් සිතුවම් කරන්නේ සිය නිසග ප්‍රතිභා ශක්තිය මොනවට ප්‍රකට කරවමින් බැව් මෙම වෘත්ත ගන්ධී ශෛලිය පද්‍යයෙන් ගම්‍යවේ.

“සුපුන් සඳ උදයගින් දිලිය වට සේ පෙනේ
හමන මඳනල සඳුන් සිහිල් ගිනි සේ දැනේ
සුවඳ මල්පෙති අතුළ යහන කටු සේ දැනේ
සමද නද කොවුල් රැුව් කනත යවුලෙව් දැනේ
මදන රද යුදට දැන් දැනෙයි සැර පස ගෙනේ
මෙසඳ මෙවියෝ දුකින් කෙලෙස වෑවෙමි අනේ…” 

‘‘රාජාවලිය’’ ග‍්‍රන්ථයේ සදහන් පරිදි, කුවේණියගේ දැඩි ශාපයෙන් පඩුවස් දෙව් රජුට එල්ල වූ දිවි දෝෂය දුරලීමට සිදු කළ කොහොඹා කංකාරිය දීර්ඝ දුෂ්කර යාගය, වර්තමානයේ  අප දේශය මුහුණ දෙන දුර්භික්ෂයෙන් මිදීම උදෙසා ද පැවැත්වීමේ යෝග්‍යතාව අපේ පැරැන්නන් වෙතින් අසන්නට ලැබෙන බව ද සදහන් කරනු රිසියෙමි.            

By Dr. Gamini Kariyawasam
(Please email your comments: gaminee@gmail.com)

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.