fbpx
13.8 C
New Zealand
Thursday, April 25, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගීතයට අරුතක් – ‘මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න’

Must read

” සිංහල භාෂාව ගැන ප්‍රථුල දැනීමක් ඇති මහාචාර්‍යය සුනිල් ආරියරත්න ගී පද ගෙතීමේදී අපූරු පද සංකලනයක යෙදෙයි. මෙහි කථකයා බාහිර බාධයකින් තොරව තමා දකින සිහින ලෝකයේ ග්‍රහණය වී සිටීමට කැමත්තක් දක්වයි. කව්සිළුමිණෙහි ඇති වචන හා යෙදුම් මෙම ගීතයට භාවිතා කරගෙන ඇති ආකාරය ප්‍රියානන්ද විජේසුන්දර මහතා  සරලව මෙහි විස්තර කරයි. “


 

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න. //

සඳැස් විදා මොණරු නටති මේඝ වළා පාවේ
බලා වැලෙන් ගෙලේ වැටේ මලිගිය මල් මාලේ
සහගුම් බිඟු පේළි සැදී නගත මධුර නාදේ
මල්ගොමු තුළ නිල් පළුදළ යහන් නිබඳ සෑදේ

මගෙ සිහිනය…

ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන් එළි දැල්වෙයි දෙනුවන් මිණිපානේ
ලඹ දුන් සපු දුනුකේ මැද පිපුණු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිළැල් හඳපානේ

මගෙ සිහිනය…
ළං නොවන්න //

ගීතය, විටෙක අප හද කුල්මත් කරන්න සහ තවත් විටෙක ශෝක සංතාප   නිවාලන සගයෙක් වේ. අපේ හදවතට මෙසේ සමීප වන ගීතයක අරුත හා බැඳුණු මිහිරි මතකයන් රැගෙන එන ‘ගීතයට අරුතක්’ තුළින් ප්‍රියානන්ද විජේසුන්දරයන් මෙවර  සාහිත්‍ය වටිනාකමක් සහිත මධුර ගීතයක් තෝරා ගෙන ඇත. විශාරද නන්දා මාලනියන්ගේ ගායනයෙන් ද මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අතින් ලියවුණු හා සරත් දසනායකයන් නාදරටා මුසු කළ ‘මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න’ ගීතය තෝරා ගෙන ඇත. මේ ගීතයේ අරුත සහ ඒ හා බැඳුණු රස මතකයන් ප්‍රියානන්ද විජේසුන්දරයන් දිගහැරියේ මෙලෙසයි.

මම අසා එක්වරම හිතට වැදුනු ගීතයක් තමා ‘මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න’ යන ගීතය. ඇත්තටම මේ ගීතය මගේ හිතට දැනුනේ මේ ගීතය මට තේරුනේ නැති නිසා.  මුල නැත්නම් ස්ථායි කොටස මට තේරුණා. ඉතුරු කොටස් දෙක නැත්නම් අන්තරා කොටස් දෙකේ වචන මට තේරුනේ නැහැ. ඒක අරුමයක් නෙවේ. මොකද මම විද්‍යාව හැදෑරූ සහ විද්‍යා විෂය උගන්නපු ගුරුවරයෙක් වූ නිසා. ඒ කාලේ මහා සිංහල  පිළිබඳ ඥානයක් මා සතුව තිබුණෙ නෑ. 

මම දෙවෙනි අන්තරා කොටස් දෙක තේරුම් ගැනීමේ පටලැවිල්ල මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට යොමු කළා. ඔහු ඉතා සුහදව මා සමග හිනා වෙලා කිව්වා

 ‘ප්‍රියා මේක ඔයා හොයාගන්න. ඔයා විද්‍යා ගුරුවරයෙක්. මේක ඔයා හොයා ගත්තොත් ඔයාට ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්.’  

ඉතින් සුනිල් ආරියරත්නයන් මේ ගීතයේ තේරුම එදා මට කියලා දුන්නේ නැහැ. මේක දැන් කාගෙන්ද මම අහගන්නේ. මම ඉගැන්වීම් කළ හොරණ විද්‍යාරත්න ට ගියා. සිංහල පිළිබඳ විශාරදවරයෙක් සහ ශාස්ත්‍රාචාර්යවරයෙකු වූ බේරේගම අමිත හිමියන් මුණ ගැහිලා ඇහුවා මේ ගීතයේ තේරුම මොකක්ද කියලා. එදා සුනිල් ආරියරත්නයන් හිනා වුණානා වගේම අමිත හාමුදුරුවොත් හිනාවුණා.

 ‘යමු පුස්තකාලයට.’ 

කියලා පුස්තකාලයෙන් පොත් දෙකක් අරන් දුන්නා. ඒ පොත තමා ‘කවිසිළුමිණ’. හාමුදුරුවෝ කිව්වා 

‘මට මේක මහත්තයට තේරුම් කරලා දෙන්න බැරි කමක් නෑ. හැබැයි මහත්තයා තේරුම් ගත්තොත් මහත්තයාගේ ගීත රචනා කලාවට හුගාක් ප්‍රයෝජනවත් වේවි.’ කියලා. මම පොත් දෙක තුන් හතර පාරක් කියෙව්වා. පුස්තකාලාධිපති හිමියන් කිව්වා පොත දැන් පුස්තකාලයට බාර දෙන්න කාලේ හරි කියලා. මම පොත් දෙක බාරදීලා ඒ පොත මිලට ගත්තා. ඒ පොත නවසීලන්තයටත් රැගෙන ආවා. අදටත් ඉඳලා හිටලා ‘කවිසිළුමිණ’ කියවනවා මම.

සුනිල් ආරියරත්නයන් කවිසිළුමිණේ වචන සමග මහා හරඹයක් කරලා  රචනා  කළ ගීතය තමා ‘මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න.’  මේ ගීතය එක්වරම ඔබ තේරුම් නොගත්තොත් මම කියන්නේ ඔබටත් හැකිනම් කවිසිළුමිණ කියවන්න කියලා.

දැන් අපි බලමු ගීතයේ තේරුම මොකක්ද කියලා. මුල් පද පේලි කිහිපය නම් ඉතාම සරලයි. පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. පළමු අන්තරා  කොටසේ සිට තමා තේරුම් ගන්න අපහසු වෙන්නේ.

‘සඳැස් විදා මොණරු නටති මේඝ වළා පාවේ’

සඳැස් කියන්නේ මොනර පිල්වල තියෙන ලකුණුවලට. ඒ අනුව මේ කාව්‍යයක්කාරයා සඳැස් කියලා හඳුන්වලා තියෙන්නේ ඇස් දහසක් කියන අරුතින්. පිල් විදහා මොනරුන් නටනවා. සාමාන්‍යයෙන් කවි සමයේ තියනවා මොනරු පිල් විදහා රඟනවා නම් පාන්දරට හෝ සවස් කාලයට මේඝ ගර්ජනා සහිතව වැසි ඇති වෙනවා කියලා. ඉතින් මේ පදවලින් අදහස් කරන්නේ මොනරු පිල් විදහා ගෙන නටනවා, වැහි වළාකුළු අහසේ පාවෙනවා.

‘බලා වැලෙන් ගෙලේ වැටේ මලිගිය මල් මාලේ’

බලා වැල  කියන්නේ  කිරි කොකුන්ට. මලිගිය මල් ලෙස හඳුන්වන්නේ පිච්ච මල්. එවිට මෙහි තේරුම වන්නේ   කිරි කොක්කු රෑන අහසේ පියාසර කරන්නේ හරියට  සුදු පිච්ච මල් මාලයක් ගෙලේ පැළඳුවා සේය.

‘සහගුම් බිඟු පේළි සැදී නගත මධුර නාදේ’

සහගුම් යනු මී මැස්සන් දහසක්. මීමැස්සන් දහස් ගණන් එකතුවෙලා මිහිරි නාද නගනවා යන්නයි මෙහි අරුත.

‘මල්ගොමු තුළ නිල් පළුදළ යහන් නිබඳ සෑදේ’

සාමාන්‍යයෙන්  ඔබ හිතනවා ඇති කොහොමද මේ නිල් වියන් බැඳෙන්නෙ කියලා. හොඳට හිතලා බලන්න ගහ කොළ කොළ පාටයි. හැබැයි ගස් යායක් තියෙන විට ඒ මතට ඉර එළිය වැටුණාම මේ ගස් අපට පේන්නේ කොළ පාටකට වඩා නිල් පාටකට. මේ පදයෙන් අදහස් වෙන්නේ ගහ කොළ නිල් පාට යායක් වගේ වැවිලා තියෙනවා යන්නයි. මේ අදහස තමා  පළමු අන්තරා කොටසින් කියවෙන්නේ.

‘ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ’

දෙවන අන්තරා කොටස පටන් ගන්නේ මේ පද පේලියෙන්. ‘ලවන්’ කියන්නේ තොල්වලට. ඔඩම යනු භාජනය. එවිට මෙහි තේරුම වන්නේ තොල් භාජනයට තබා මධු පානය කරනවා යන්නයි.

‘සුරත් සහන් එළි දැල්වෙයි දෙනුවන් මිණිපානේ’

අපි දන්නවා මධූවිත පානය කලාම අපේ ඇස් රතු පාට වෙනවා කියලා. ‘සුරත්’ කියන්නේ තද  රතු පැහැයට. මධුවිතින් සෑහීමකට පත්වුණා කියන තද  රතු පැහැ එළි දැල් වෙනවා ඇස් දෙක නමැති මැණික්  පහනින්.

‘ලභ දුන් සපු දුනුකේ මැද පිපුණු එකම යායේ’

ඔබ දන්නවා බුදුන් වහන්සේගේ කන්  ලභසවන් බව. ලභසවන් කියන්නේ එල්ලා වැටෙන. සපුමල්, දුනුකේ මල් වැල් පිටින් එල්ලා වැටෙනවා  එකම යායක.

‘ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිළැල් හඳපානේ’

ඉතාම සරලයි. අපි ඇවිදිමු මුතු පබළු පිනි වැටෙන සිහිළැල් හඳපානේ.

තවත් පැත්තකින් ගත්තොත් මේ ගීතයේ මහා ව්‍යාකරණ එකතුවක් තියෙනවා. ඔබ අහලා ඇති ‘එව කව බොව’ කියන වචන පේළිය. එන්න කන්න බොන්න. මේ ගීතයේ තියෙනවා ‘නගත මධුර නාදේ’. ‘නගත’ තවමත් නගමින් සිටිනවා. තව  තියෙනවා ‘බොත රස මධු පානේ’. ‘බොත’ තවමත් බොනවා. වර්තමානයේ ඔවුන් තවමත් ක්‍රියාවේ යෙදෙමින් සිටිනවා. බලන්න ලස්සන. මේ ගීතයේ තවත් තැන් කිහිපයක් ගත හොත් අපිට පුළුවන් ව්‍යාකරණ පාඩමක් කරන්න. ඒ ගැන අපි පස්සේ දවසක කතා කරමු. නැවත අපේකමේ, අපේ කලාවේ, අපේ සෞන්දර්යේ කොතනකින් හෝ තැනකින් රසවත් ගීතයකින් අපි මුණගැසෙමු.

පිළිසඳර ප්‍රියානන්ද විජේසුන්දර
සැකසුම දිමුතු විජේසූරිය

Discussion with Priyananda Wijesundara
Edited By Dimuthu Wijesuriya

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.