fbpx
9.5 C
New Zealand
Monday, May 6, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගීතයට අරුතක් – ‘ඔබ පෙම් කරනා ඔබේ කුමාරී’ | දිමුතු විජේසූරිය

Must read

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මට ද ආදරේ කියා තිබේ //

සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මට ද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළු වී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මට ද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා

ගී පබැදුම:- සුනිල් ආර්. ගමගේ
ගායනය සහ සංගීතය:- විශාරද  ගුණදාස කපුගේ

තමා අතහැර ගියේ ප්‍රේමවන්තියගේ මතකය ආවර්ජනය කරන ප්‍රේමවන්තයෙක් ගැන කියවෙන ගීතයක් ප්‍රියානන්ද විජේසුන්දර මහතා මෙවර තෝරාගෙන තිබේ.

මෙම ගීතය සංගීතවත් කර ගායනා කරන්නේ විශාරද ගුණදාස කපුගේ ශූරීන්. ගුණදාස කපුගේ නම් වු ගායකයා මට සුවිශේෂී චරිතයක්.  ඒවගේම තමා ඔහුටත් මා සුවිශේෂී වූ කෙනෙක්. කපුගේ ගේ ප්‍රථම ගීතය වන “දෑස නිලුපුල් තෙමා” ගීතය රචනා කරන්නට මට අහම්බයෙන් වගේ අවස්ථාවක් ලැබුණා. එවකට ඔහු ආධුනික ශිල්පියෙක් ගුවන්විදුලියේ. මෑතකදී අප අතරින් වියෝ වූ සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ තනුවකට කපුගේ පද රචනාවක් හොයමින් හිටියා ඒ කාලේ. නමුත් එදා ඔහු නවකයෙක්  නිසා ගීතයක් ලියවා ගැනීම අපහසු දෙයක් වුණා. එනිසාවෙන් මට  අවස්ථාව ලැබුණා ඔහුගේ  පළමු ගීතය ලියන්නට. එයින් පසුව කපුගේ ගේ සෑම සංගීත තැටියකටම මාගේ ගීතයක් අනිවාර්යෙන් ඇතුළත් වුණා.

කපුගේ කියන්නේ ඉතා ශ්‍රේෂ්ඨ වූ සංගීත නිර්මාණ ශිල්පී. ඔහු භාත්ඛණ්ඩේ විශ්ව විද්‍යාලයෙන් සංගීතය පිළිබඳ විශාරද උපාධිය හදාරා  ගුවන්විදුලියේ ශබ්ද පරිපාලකවරයකු වශයෙන් සේවය කළා. මට මතකයි සුගතපාල සිල්වා මහතා විසින් අධ්‍යක්ෂණය කළ “ගුවන් විදුලි රඟමඩල” වැඩසටන සඳහා මුලින්ම ගීත නිර්මාණය කළේ ගුණදාස කපුගේ. එමෙන්ම ඔහු රජරට සේවයේ සේවය කරන කාලයේ දී බොහෝ නවක ගායකයින්ට ගීත නිර්මාණය කළා. විශේෂයෙන්ම කරුණාරත්න දිවුල්ගනේ  වැනි නවක ගායකයන් බිහි කරවන්නට කපුගේ පුරෝගාමීයෙක් වුණා. ඔහුගේ ගායන ප්‍රතිභාව ඉතා විශිෂ්ටයි. පදවලට  ජීවය ලබා දීමට ඔහුගේ කටහඬට පුළුවන්.

“ඔබ පෙම් කරනා ඔබේ කුමාරි” ගීතය රචනා කරන්නෙ සුනිල් ආර්. ගමගේ මහතා. ඔහු මට පසුව ගී පද රචකයෙක් විදිහට ක්ෂේත්‍රයට පැමිණි කෙනෙක්. ඔහු අතින් ලියැවුණු ඉතා මනරම් ගීත රාශියක් තියෙනවා. ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට, පිය සටහන් මැකී නොමැත, කවිය ඔබ, රාත්‍රියේ වී, පිවිතුරුය පළමු පෙම වැනි ගීත ගොන්නක හිමිකරුවා වන්නේ ඔහු. ඒ අතරින් අද මා තෝරාගත්   ගීතයත් විශේෂයි. නමුත් මම ගීතයේ අන්තර්ගතයට ප්‍රිය නැහැ. ඒ නිසාමයි මේ ගීතය ගැන  කතා කරන්න හිතුවේ. මේ ගීතයේ පද ගැලපීම සහ සංගීතය ගැන මගේ කිසිඳු විවේචනයක් නැහැ. උසස් මට්ටමේ ගීතයක පද ගෙතීමක් මේ ගීතයෙත් තියෙනවා. එය අපට ප්‍රතික්ෂේප කළ නොහැකි දෙයක්. මා එකඟ නොවන්නේ මෙහි අන්තර්ගතයට පමණයි.

“ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මට ද ආදරේ කියා තිබේ”

කොහොමද පෙම්වතෙක් මේ ටික කියන්නේ. මම අහන්නේ ඒ දෙයයි. ආදරේ කියන්නේ පරිත්‍යාගයක්. ආදරේ කියන්නේ විශ්වාසයක්. අපි ආදරේ කරන දෙයක් අපිට නොලැබුණේ විට එයට වෛර කිරීම, ක්‍රෝධ කිරීම හෝ ඊර්ෂ්‍යා කිරීම මම පිළිගන්නේ නෑ. සැබෑ ආදරයේ දී එය කළ නොහැකි දෙයක්. ඉතින් සුනිල් ආර්. ගමගේ කියන මේ ප්‍රවීණ ගේය පද රචකයා ඇත්තටම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි මිනිස් සන්තානය තුළ ඇතිවෙන හැඟීම් තමා මේ ගීතය තුළ කැටි කොට ඇති අයුරක් තමා මට හැඟෙන්නේ. මට දැනෙන දේ නම්, ආදරය කළ කෙනා ගැන මෙවැනි වූ සිතුවිල්ලක් ඇති වෙන්නේ කෙසේද යන්නයි. මේ වගේ විරහව  පිළිබඳ ලියවුණු ගීත රාශියක් තියෙනවා. උදාහරණයක් විදිහට මා විසින්ම ලියන ලද ගීතයක් තියෙනවා

“කෙලෙසද කිව මැන සිපගත් දැතට මංගල මල් කළඹක් දෙන්නේ”

මේ ගීතයේ සදහන් වෙන්නේ තමා අතහැර ගිය පෙම්වතිය විවාහ වන දවසේ මම කොහොමද මල් කළඹ රැගෙන යන්නේ දෙවැනි මනමාලයා හැටියට හැබැයි. යාලුවට කියන්නේ  නෑ මේ ඉන්නේ තමන්ගේ පෙම්වතිය බව. ඇයත් සමග ගත කරපු කාලය ඇය සමග කළ කී දෑ යාලුවා සමග කියන්න යන්නේ නැහැ. ඒ වගේම තමා පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන “පෙරදිනයක මා පෙම්කළ යුවතිය” ගීතයෙත් තියෙන්නේ ආදරවන්තයා කළ පරිත්‍යාග ගැන. මෙවැනි ගීත රැසක් අපේ ගීත සාහිත්‍යයෙන් හොයාගන්න පුළුවන්. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාවෙන් තොරව ආදරය කියන පාරිශුද්ධ වචනය යොදාගත්  විරහ ගීත ගණනාවක් අපගේ ගීත  සාහිත්‍යයේ තියෙනවා.

නමුත් මේ ගීතයේ සදහන් කරනවා,

“සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මට ද ආදරේ කියා තිබේ.”ලෙසින්.

පෙම්වතා තම පෙම්වතිය ගැන ඇගේ වර්තමාන පෙම්වතාට කියනවා ඔබ දැන් ආදරය කරන  තරුණිය මා සමග ද බොහෝ තැන්වල ගිහින් තියෙනවා. ඒ වගේම   අද ඔබේ තුරුලට වී ආදරේ යැයි කියන  තරුණියම පෙර දවසක මටත් එලෙසින්ම  ආදරේ යැයි කී වග.

“සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළු වී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මට ද ආදරේ කියා තිබේ”

මේ පද පේළිවලින් කියවෙන්නෙ අහිමි පෙම්වතිය සමග ඔහු බොහෝ තැන්වල ඇවිද ගිය බවයි. සැබෑ පෙම්වතෙක් මෙලෙස කියන්නේ කොහොමද? මම ප්‍රශ්න කරන්නේ මෙයයි. මෙය කළ හැකි දෙයක් ද?

“ආදරය පරිත්‍යාගය කළ යුත්තේ අප හදවතින්මයි”

වර්තමානයේ අපට මාධ්‍යවලින්   අහන්නට දකින්නට ලැබෙනවා  පාසැල් වියේ දරුවන් පොඩි පොඩි පෙම්හබවල  දී හැසිරෙන ආකාරය. පිහියෙන් අනිනවා වැනි දරුණු ක්‍රියා සිදු කරන්න ඔවුන් පෙළඹිලා තියෙනවා. ගීතයක් කියන්නේ සමාජය තුළ විශාල පරිවර්තනයක් කළ හැකි මාධ්‍යයක්. මට දැනෙන, හැඟෙන විදිහට නම් සමාජයට වැරදි පණිවිඩයක් මේ ගීතයෙන් ලබාදීලා තියෙනවා. අනිත් අයට මේ ගීතය ගැන වෙනත් අදහසක් තියෙන්න පුළුවන්.

ප්‍රියානන්ද විජේසුන්දර මහතා සමඟ කළ “ගීතයට අරුතක්” වැඩසටහන ඇසුරෙන්  මෙම ලිපිය සකස් කළේ,

සැකසුම දිමුතු විජේසූරිය
Edited By Dimuthu Wijesuriya

Youtube Release:

 

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.