සියල්ලෝම රවුමට යමින් වෙහෙර වැන්දෝය.
‘චක්ක වරං කිත රත්ත සුපාදෝ …’ අත්තම්මා කියවන්නට පටන් ගත්තාය.
‘අපේ අත්තම්මෙ රත්ත සුපාදෝ කියන්නෙ–’ පමෝදා අත්තම්මාගේ අතේ එල්ලී ගෙන ඇසුවාය.
‘පැහිච්ච කම එපා. රත්නත්තරේට වඳින කොයි ගාතා රත්නෙත් එකයි–’ කියමින් උත්තර දුන් අපේ අත්තම්මා වන්දනාව හිටුවනම නතර කර ආපිට හැරුණාය.
‘විදානෙ මහත්තයො ආං අරහෙට යං…’
ආතා පුරාහඳ තරමට දෑස ලොකු කර ගත්තේය.
‘අර මඩුව පැත්තට.’ අත්තම්මා පමෝදාගේ අතින් ඇද ගෙන දාන ශාලාව පිටුපස වූ මඩුවට ගියාය. ආතා අප පසු-පස ආවේය.
‘ඇයි?’
‘අරකි.’
ආතා වට පිට බැලුවේය.
‘අප්පච්චියේ..’ විස්සෝප වුණ අත්තම්මා ටකරං ලෑල්ල ඇද මඩුවේ දොර වසා නිකටේ අත තබා ගත්තාය. ‘ඩිංගක් වහං වෙලා ඉම්මු මගෑරිලා යනකල්. පූජාවෙ පිං ගන්න ගියාම ඇති.’
ආතා වැසුණු දොර අල්ලා ගෙන ටකරං වහල දෙස බැලුවේය.
‘සාදු සාදු සාදු.’ පංසල් පීකරය සාදුකාර දුන්නේය.
‘අම්මෙ අම්මෙ-’ කවුදෝ දොර-ලෑල්ලට තට්ටු කළේය.
‘පොඩි මාමා–’ පමෝදා අපේ අත්තම්මාගේ සිල්රෙදි පොටෙන් ඇද්දාය.
‘අපේ එකා?’ අපේ අත්තම්මා ආතාගේ මුහුණ බැලුවා ය. ‘නෑ-?’
‘අප්පච්චි–’ ටකරං දොර-ලෑල්ල සෙලවුණේය.
‘ඌ තමයි. සීවරං දෙය්යනේ.’ ආතා අපේ අත්තම්මා ඉවතට තල්ලු කර දොර-ලෑල්ල ඇද්දේය.
‘අම්මේ-’ දොර පාමුල ඇද වැටුණ පොඩි මාමා අපේ අත්තම්මාගෙ දෙපා අල්ලා ගෙන අඬන්නට වූයේය. ‘අම්මල වෙසක් පෝයට පංසල් එන වග දන්නව. ඒකයි බලල යන්න ආවෙ.’ ඔහු වැස්ස දා හීන් දොළ ගලනවා වගේ අඬාගෙන අඬාගෙන ගියේය. ඊළගට නැගිට අත්තාගේ අත අල්ලා සිඹගෙන සිඹ ගෙන ගියේ ය. ‘මගේ පුංචි දෝනි,’ කියා පමෝදා වැළඳ ගත්තේ ය. ‘අනේ පොඩි දූ නොදැක තුන් අවුරුද්දක්ම මගෙ ඇහැ කැකිව්ව තරමක්. මටත් වඩා උහ ගිහින්.’ ඔහු පමෝදා අල්ලාගෙන ඉකි ගසන්නට වුයේය.
‘උඹ-’අපේ අත්තම්මා උතුරු සලුව අනෙක් කරට මාරුකර ගත්තා ය. ‘ඕකිත් එක්ක යන්න ගියාට පස්සෙ හිංගල අවුරුදු තුනක් ගියා, තව නෑ ගෙදර තෙලක් කරවුණේ. වෙසක් මහම තුනක්. රෑට රෑට මං ගෙදර ඉස්සරහ දොර ලෑල්ලට කං දී ගෙන ඉන්නව උඹේ අඩි සද්දදෙ දැං ඇහෙයි දැං ඇහෙයි කියල.’ හිස පාත් කළ ඇය සිල් රෙද්දෙන් දෑස පිසදා ගත්තාය.
‘ඉඟුරු ගලේ මහ ලියද්දෙ දෙකටුම මෙදා පාර මට කොටා ගන්න බැරි වුණා.’ ආතා දිග සුසුමක් හෙලුවේ ය. ‘ගහන ගහන උදලු පාරක් ගානෙ මට ඇහුනෙ උඹේ කටා’ඬ. ඔය ඉහ-පොකුටෙ වත්ත මායිමේ වැරණිය පදුරු මත්තෙන් දැං මතුවෙයි දැං මතුවෙයි කියල හෙන්දිරික්ක මල් පිපෙන ගොම්මනේ මේ තුන් අවුරුද්දම මං බලාන හිටිය. උඹ එතකොට ආව.’ අපේ ආතා බැනියම්පටේ දෑස පිසදා ගත්තේය.
‘උඹ ආ ඒක හරි.’ අපේ අත්තම්මා දෑහි බැම එක්කාසු කර ගත්තා ය.‘ඒත් අරකි?’
‘ආව.’
‘උඩගිලිමෙ ගිරිගෝරිසාල එක්ක පෑහෙන්නෙ කවුද?’ අත්තම්මා ඇසුවාය. ‘උඹ ලේන පැටිය වගෙ කිරි උරා බිව්ව හැටි මතක් වෙන කොට මගෙ ලේ කකියනව. පපුව කීං කී ගානව ඒත් ඒකි-’
කවුදෝ මඩුවේ ටකරං බිත්තිය පහුරු ගානවා ඇසුණේය.
‘ඩා-ඩා-ඩා.’ කුඩා දරුවෙක් අත පෑවේය. සිඟිති දෙපා සීරුමාරුවට ගෑටී ඇතුලට ආවේ ය. ‘ඩා ඩා ඩා’ ඔහු දෑත පෑවේය.
පොඩි මාම ඔහු වඩා ගෙන හිස සිම්බේය.
‘උඹෙ?’ අත්තම්මා පපුවේ අත තබා ගත්තාය. ‘හාං කවිසියක් දන්නෑ.’
‘අනේ අම්මෙ පුතාගෙ ඇහැ–’
‘ඉතිං?’
‘පේන්නෙ නෑ.’ පොඩි මාම සරම්පටින් මුව වසාගෙන දිගමට ඉකිගැසුවේය.
‘නෑ?’ අත්තම්මා දරුවාගේ හිස අල්ලා මුහුණ දෙස බැලුවා ය. ‘මොකක්ද පැටියො නම?’ ඇය සුදු පාට කුඩා කම්මුල සිපගත්තාය.
‘ඩා-ඩා-ඩා’ දරුවා හිස වනමින් සිනාසුණේය.
‘පේන්නෑ කියන්නෙපා. පේනවා.’ කවුදෝ මඩුවෙන් පිටත සිට කෑ ගසනවා ඇසුණි.
අත්තම්මා දරුවා වඩා ගත්තාය. ‘පේනවා පේනවා,’ කියමින් ඇය මඩුවෙන් පිටතට හිස දැම්මාය. ‘වරෙන් ළමයො ඇතුළට.’
සාදු හඬ බණ ශාලාවෙන් ගලා ආවේය. ටකරං අගුවෙන් පුරාහඳ එබුණේය.
By B. Karasinghe Arachchi – Auckland