ශීත ඍතුවේ එක් උණුසුම් දවසක්. ඒ ජුලි 27 වැනිදා. මේ සේද වළා පියස්ස නිවහන කරගත් නව සීලන්තයේ උතුරු, දකුණ දුපත් වාසීන් 23 දෙනෙකුට ලස්සන මතක එකතු කරපු දවසක් වුණා. තැනින් තැන විසිරිලා ගිය අකුරු අමුණා, එකට ගොතපු කවි පද වැල්, දුපත් දෙකොනේ තනි වී සිටි කවි හදවත් එකට යා කළ සොඳුරු කාව්‍යමය සැඳෑවක් ලෙසින් දොරට වැඩීමේ මංගල්‍යය ඒ ජුලි 27 වැනි දින ඩනීඩින් හි දී සිදු වුණා.
“නව සීලන්ත අහස යට ලියු කවි” නම් වූ කෘතිය එදා එළි දැක්වුණේ, නවසීලන්ත ඉතිහාසයේ පළමුවරට දොරට වඩින ලද ශ්‍රී ලාංකේය කවි සමුච්චය ලෙසයි. මේ කවි සංසදයට මුල්ගල් තැබූණේ ඩනීඩින්හිදී වන අතර මේ ගමනේ නියමුවා වුණේ අප හිතවත් සොයුරු හරින්ද්‍රනාත් චන්ද්‍රසිරි. ඔහුට මේ කවි සංසදයේ අපි හැමෝම කෘතවේදී වන්නේ මේ වෙනුවෙන් කැප කළ ඔහුගේ වටිනා කාලය සහ අමිල ශ්‍රමය නිසාම පමණක් නොවෙයි. අප දකිමින් හිටිය සිහිනයක්, සමහර විට සිහිනයකින් වත් නොදුටු, හිතක් තිබුණත් මඟක් නොතිබුණු, කවියට හිත් බැඳි නවක කවි කිවිඳියන් වෙනුවෙන් ඔහුගෙන් ලද මග පෙන්වීම් සහ ගුරු හරුකම් වෙනුවෙන්.
ඒ ඉරිදා සවස 3ට පමණ සුබ මොහොතින් අපේ කවි පොත පිළිගැනීමට, මේ ඩනීඩින් පුරවරයේ බොහොමයක් හිතවතුන් යුනෙස්කෝව විසින් 2014 දී ‘නිර්මාණශීලී සාහිත්‍ය පුරවරය’ (Creative City of Literature) ලෙස නම් කරන ලද ඩනීඩින් නගරයේ, නව සීලන්තයේ පැරණිතම විශ්වවිද්‍යාලය වූ ඔටාගෝ විශ්වවිද්‍යාලයට එක් රැස්‌වීම සැබැවින්ම සතුටක්. ගුණාත්මක නිර්මාණ පොකුරකින් ‘නව සීලන්ත අහස යට ලියු කවි’ පොත එළිදැක්වීම උදෙසා කවි කිවිඳියන්ගේ සියලු කවි කියවමින් ඇගයූ, කවි තෝරා දුන් අමෙරිකාවේ ඉලිනොයි(ස්) වාසය කරන සම්මානිත මහාචාර්ය ආරි ආරියරත්නයන්, උළෙලේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ, කවි කිවිදියන්ගේ විශිෂ්ට නිර්මාණද අගය කරමින්.
චාම්, සරල නමුත් මතක හිටින මොහොතක් බවට ඒ ඉරිදා සවස සුන්දර වුණා. කවි කතා, රස කතා… පරණ කතා… අලුත් කතා සමග හංසි ගමගේ ගේ නර්තන අංගයකින් ද අචලා නෙළුනිකා ලියූ ගීතයක් සන්ධ්‍යා විජේසුන්දරගේ ගායනයෙන් ද ඒ සැඳෑව විචිත්‍රවත් වුණා. කවි පොතට නිර්මාණ සපයමින් දායක වූ සියලු දෙනා එදින ඩනීඩින් පුරවරයට නොපැමිණියත් මේ අහස යට කවි කතාවට එකතු වූ සියලුම කවි හදවත් ආදරයෙන් උණුසුමෙන් සිහිපත් කළේ මේ කටයුත්ත පුරාවට තිබුණු ළබැඳි, සහෘද සහෝදරත්වයයි.
අපේ කවි පොත මගින් මේ සේද වලාකුළු පියස යට එහෙ මෙහෙ පාවෙමින් තිබුණු, දුටු නොදුටු සුන්දර කවි හදවත් එකට එකතු කොට ලස්සනම ලස්සන නවාතැන් පොළක් නිර්මාණය වුණා. හැංගි හැංගි තිබුණු මිණි කැට මේ අහසේ අද දිලෙන්නේ මේ මුල පිරුම නිසා. ඒ ජුලි 27, ඒ සවස… දිගු ගමනකට ගත්තු පුංචි ඇරඹුමක්…කලාගාරයකට තබපු පුංචි ගඩොලක්… නව සීලන්තය පුරා විසුරුණු නැවුම් කවි හිත්වලට අප සමඟ එක්වන ලෙස කරන ආරාධනයත් එක්කම තවත් ලස්සන නව සීලන්ත අහස යට ලියැවුණු නව කවි සංග්‍රහයකින් දොරට වඩින තුරු මේ හදවත් පතුළේ සුරැකෙන මතකයක් බව සටහන් කළ යුතුමයි.
චන්දිමා දස්කොන් – ඩනීඩින්







