fbpx
11.4 C
New Zealand
Wednesday, May 1, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගීතයට අරුතක් – මේ පාළු සීත රාත්‍රියේ… | දිමුතු විජේසූරිය | වෙලින්ටන්

Must read

ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ සිටි දක්ෂ සිතාර් වාදන ශිල්පියකු වූ සමන් කුඹුකගේ මහතාගේ ඉල්ලීමකට  ප්‍රියානන්ද විජේසුන්දරයන් අතින්ම ලියවුණු ‘මේ පාළු සීත රාත්‍රියේ’ ගීතය ගැනයි මෙවර කතාබහ.

මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා

නිදිමත තරු කැට කඩා වැටේ
ඉඩ දී අඳුරට අහස් තලේ
සඳ මල මිලිනව බලා හිඳී
දකින තුරා අඬ නුවන් අපේ
සඟවා ළය මත ඔබෙ වත රහසින් කියාදෙන්න ළංවී
ප්‍රේමය නම් කිමැයි කියා

ගහ කොළ නිසලව බලා හිඳී
පවන් රොදක සිහිලසින් මිදී
පිනි කඳුළැලි කැට කඩා වැටේ
ඇහෙන තුරා පෙම් වදන් අපේ
සුසුමක් සුසුමට ළං කර රහසින්
කියාදෙන්න ළං වී
ප්‍රේමය නම් මෙයැයි කියා

ගේය පද:- ප්‍රියාන්නද විජේසුන්දර
ගායනය:- චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය:- සමන් කුඹුකගේ

ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ සිටි දක්ෂ සිතාර් වාදන ශිල්පියකු වූ සමන් කුඹුකගේ මහතාගේ ඉල්ලීමකට ප්‍රියානන්ද විජේසුන්දරයන් අතින්ම ලියවුණු ‘මේ පාළු සීත රාත්‍රියේ’ ගීතය ගැනයි මෙවර කතාබහ.

හැත්තෑව දශකයේ අග භාගය වන විට තරුණ සේවා සභාව හරහා ගීත ගායනයට පිවිසි චන්ද්‍රලේඛා පෙරේරා බෙහෙවින් ජනප්‍රිය වෙලා හිටියා. මා මිත්‍ර සමන්ගේ සූදානමක් තිබුණා චන්ද්‍රලේඛාට සහ ටි.එම් ජයරත්නට එකවර කැසට් පට දෙකක් නිර්මාණය කිරීමට. ගුවන් විදුලියේ දී මා හමු වූ විටෙක දී ඔහු කිව්වා මෙම කැසට් පට සඳහා ගීත කිහිපයක් නිර්මාණය කරලා දෙන්න කියලා. ඒ ඇරයුමෙන් තමා මා අතින් ඇය වෙනුවෙන් ගීත කිහිපයක්ම ලියවුණේ. ඒ අතරින් රසිකයින් වඩාත් වැළඳගත් ගීත බවට පත්වුණේ ‘මේ පාළු සීත රාත්‍රියේ’ ගීතය සහ ‘මේ උයන් කොනේ’ යන ගීත දෙක. මේ ගීත දෙක අතරිනුත් ‘මේ පාළු සීත රාත්‍රියේ’ ගීතය වඩාත් ජනප්‍රිය වුණා. අදටත් මේ ගීතය රසික හදවත් තුළ ලැගුම් ගෙන තියනවා.

ඇත්තටම මට මේ ගීතය ලියන්න හේතුවක් අරමුණක් තිබුණේ නැහැ. චන්ද්‍රලේකාගේ කටහඬ, ඇගේ ගායන පරාසය, කටහඬේ තියන ප්‍රේමණීය බවට ගැළපෙන්නේ මෙවැනි පදමාලාවක් කියන හැඟීමක් මට තිබුණා. ඒ හැඟීමෙන් තමා මම මේ ගීතය ලිව්වේ. ඇගේ කටහඬ අනන්තවත් අහලා තිබුණත් ඇයව මට හමු වෙලා තිබුණෙ නැහැ.

මේ ගීතය විවිධ අය විවිධ විදියට අර්ථකථනය කරනවා. ප්‍රේමයේ වියෝගයක් විදිහයටත් රාගයෙන් පිරුණු ගීතයක් විදියටත් දකිනවා. ඒත් මම මේ ගීතය ලිව්වේ වෙනත් අදහසකින්. පෙම්වතියක් සහ පෙම්වතෙක් පිළිබඳ ඔබ හිතුවොත් මේ ගීතය රාගයට බරයි. විවාහක යුවලක් ගැන හිතුවොත් මේ ගීතය රාගයෙන් තොරයි. එය එකිනෙකි දකින, විදින විදිහ.
කාන්තාවකට ආදරේ කියන්නේ ආදරේමයි. කාන්තා පෞර්ෂයේ තිබෙන වැදගත්ම සංකල්පය ආදරේ. අපේ පැරණි ගැමි පවුල තුළ බිරිඳ කියන්නේ සැමියාට පුදුම ස්නේහයකින් බැඳුණු තැනැත්තියක්. නමුත් පිරිමියා තමාගේ ආදරේ පෙන්නන්නේ නෑ. ඒ ඔහුගේ දැඩි බව හෝ පුරුෂාධිපත්‍ය නිසා වෙන්න පුළුවන්. තම ආදරේ බිරිඳට පෙන්නුවොත් ‘මම ඇයට දෙවැනි වෙනවා’ යැයි හැඟීමක් ඔහු තුළ ඇති වෙන්නට පුළුවන්. ඒත් ඔහුගේ හද තුළ ආදරය සඟවාගෙන ඉන්නවා. මම මේ ගීතය රචනා කළේ එවැනි අදහසකින්. ඕන කෙනෙක්ට මේ ගීතය කැමති විදියකට අර්ථකථනය කරන්න පුළුවන්.

‘මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා’

එදා යුගය ගත්විට මෙය බොහෝ වෙලාවට සැමියෙක් සහ බිරිඳක් අතර තියන සම්බන්ධතාවයක්. මොකද ඒ කාලේ පාළු, සීත රාත්‍රිවල දී පෙම්වතුන් තනි වුණේ නැහැ. ඒ දවස්වල දවල් කාලය හමුවෙලා කතාබහ කරලා ඉර බැහැගෙන යන හැන්දෑවේ වෙන්වෙලා යනවා. රාත්‍රී කාලයේ හමුවීම් බොහොම අඩුයි.

‘නිදිමත තරු කැට කඩා වැටේ
ඉඩ දී අඳුරට අහස් තලේ
සඳ මල මිලිනව බලා හිඳී
දකින තුරා අඬ නුවන් අපේ
සඟවා ළය මත ඔබෙ වත රහසින් කියාදෙන්න ළං වී
ප්‍රේමය නම් කිමැයි කියා’

රෑ අහසේ අඳුරට ඉඩ දෙමින් තරු කැට කඩා වැටෙද් දී සඳ නමැති මල පරවෙලා බලා ඉන්නේ අපගේ අඩවන් වූ දෙනෙත් දකින්න. මේතන දී ඇයි අඩ නුවන් දකින්නේ? සාමාන්‍යයෙන් යුවලක් හුදකලා වන විට, තුරුලු වන විට හෝ එක් වන විට දෙදෙනාගේ හදවතින් නැගෙන හැඟීමෙන් දෙනෙත් අඩවන් වෙනවා. නොකියා කියන්නේ අපිට ඒ තත්ත්වෙට පත්වෙන්න තමයි සඳ මල මිලින වෙලා තරු කැට අහසින් කඩාගෙන වැටිලා අඳුර මවලා බලාගෙන ඉන්නේ කියලා.

‘ගහ කොළ නිසලව බලා හිඳී
පවන් රොදක සිහිලසින් මිදී
පිනි කඳුළැලි කැට කඩා වැටේ
ඇහෙන තුරා පෙම් වදන් අපේ
සුසුමක් සුසුමට ළං කර රහසින්
කියාදෙන්න ළං වී
ප්‍රේමය නම් මෙයැයි කියා’

සුළගේ සිසිලසින් මිදිලා ගහකොළ නිසලව බලාගෙන ඉන්නෙත් පිනි නැමැති කඳුළු කැට කඩා වැටෙන්නේ අපි ආදරයෙන් කතා කරන තෙක්. ‘පිනි කඳුළැලි’ ලෙසින් මා සඳහන් කළේ පිනිකැට දුකෙන් බලාගෙන ඉන්නවා ඇයි අපි ආදරෙන් කතා කරන්නේ නැත්තෙ කියලා. අපි ආදරෙන් කතා කළොත් පිනි කඳුලැලි වැටෙන එක නවතීවි.

මේ ගීතය සංගීතවත් කරන්නේ මට ගීතය ලියන්න ඇරයුම් කළ සමන් කුඹුකගේ. ඔහු සිතාර් වාදන ශිල්පියෙක්. වාදකයා තුළ සැඟවුණු සංගීතඥයා මේ ගීතය තුළින් ඔහු එළි දක්වනවා. ඔහුට තිබුණු සංගීත අධ්‍යයනය වගේම සිතාර් වාදනයේ තිබුණු ප්‍රවීණත්වයත් නිසා මේ තනුව ඔහු අතින් නිර්මාණය වුණා.

මේ වචන ටික ලියලා මගේ බිරිඳ සන්ධ්‍යාට දුන්නා. ඒ කාලේ අපි විවාහ වෙලා හිටියේ නෑ. සන්ධ්‍යා මේ වචන ටික කියවලා එකපාරටම කිව්වා මේ ගීතය ජනප්‍රිය වෙනවා කියලා. ඇත්තටම ඒක සිද්ධ වුණා. මේ ගීතය මුලින්ම පටිගත කළේ ‘නෙලු’ ශබ්දාගාරයේ දී. චන්ද්‍රලේඛාගේ මියුරු ගායනයත් සමන්ගෙ තනුවත් නිසා මා අතින් ලියැවුණු මේ ගීතය ජනප්‍රියතාවයට පත් වුණා.
ප්‍රියානන්ද විජේසුන්දර මහතා සමග කළ කතාබහ ඇසුරෙන් මෙම ලිපිය සකස් කළේ,

Edited By Dimuthu Wijesooriya – Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.