උපන් දිනය සමරන මිණිබිරිය මගේ
වසර දෙකට පා තැබුවා සතුට නැගේ
මැණිකට වඩා වටිනාකම තිබෙයි ඇගේ
කවදද දකින්නේ හැබැහින් දෝණි අගේ
විදෙස් රටක දී ජන්මය ලැබු හින්දා
වීඩියෝ මඟින් දුටු නුඹෙ රුව හද රන්දා
වචන උසුරුවන’යුරු මගෙ මන බැන්දා
නුඹ අප හමුවීම කොයි කාලෙද මන්දා
නුඹ දැක ගන්න පින නැතිවේ යයි සිතෙනා
හැම මොහොතකම මාගේ හදවත රිදුනා
හැකි ඉක්මණින් නුඹ හා අප හැම දකිනා
දිනයක් උදා වේවා සොම්නස පිරෙනා
පළමු පැමිණි සුර දූතිය නුඹයි අපේ
පුතුන්, මුණුපුරන් සිටිනා මැදට පිපේ
මගේ ආයුෂත් අරගෙන සුවෙන් සැපේ
සුපැතුම් ගලා විත් සිතිවිලි සතුටෙ හැපේ
දරුවන් කොතෙක් හිටියත් එය බරක් නොවේ
එයිනුත් ‘දියණියක ‘ සිටි කළ ලොවක් මැවේ
ලැබ ගෙන සතුට, සම්පත සහ නිදුක් සුවේ
දිගුකල් යෙහෙන් වැජඹේවා චූටි දුවේ
By Keerthi Ayupala – Ragama