ඉපැදුම, බුදුවීම, පිරිනිවනට යෑම
සිදුවුණු වෙසක් දින වැදගත් වෙයි බෝම
ආමිස මෙන්ම පිළිවෙත් තුළ නියැ ලීම
පෙන්වයි, බුදු සමිඳු වෙත අපෙ සැළ කීම
බුදු තෙමඟුල යෙදෙන මේ වෙසඟෙහි සුසැදී
බුදු ගුණ ගයමු, සැම සත් වෙත මෙත් ලැබදී
මුදු කරුණා ගුණය සිත් තුළ මතු කරදී
සුදු මුදු මලින් පුදනෙමු, හිමි සඳ පැහැදී
නව අරහාදි ගුණයෙන් සුසැදුණු පවර
බව දුක් අඳුර දුරු කොට සදහට බැහැර
නිව නින් සැනසු පුහුදුන් දන එක පැහැර
සුව හස් මලින් බුදු හිමි නමදිමු වැතිර
මුදු කරුණාව හැම සත වෙත ලැබ දුන්න
බුදු හිමි දෙසුව අයුරින් ලොව ජය ගන්න
රුදු බව කතරෙ බාධක සැම දුර ලන්න
පිදු මෙන් සමිඳු, හැකි වන බව පිළිගන්න
රහසින් වුවද පව් කම් නොම කළ සේක
දස මරසෙන් පවා දමනය කළ සේක
දෙවියන්, බඹුන් ගෙන් පිදුමන් ලැබු සේක
පුහුදුන් දනන් දහමින් සැනසූ සේක
නාලාගිරි ඇතුන්, අංගුලිමාල වෙත
අලව් යකුන්, දෙව්දත් වැනි පිරිස වෙත
ආලෝකයක් විහිදාලා ඔවුන් වෙත
පිහිටවු සේක යොමු කරවා කුළුණු මෙත
ගොර බිරු සසරෙ දුක පැහැදිලි කර දුන්න
එය දුරු කරන මංපෙත් සකසා දුන්න
දෑ කුල බේද නො තකා සමතැන දුන්න
තිලොවග පියා නමදිමු , බැතියෙන් ඔන්න
බුදු හිමි පිහිට හැර සරණක් ලොව නැත්තේ
අප සැම දෙනම එය වටහා ගත යුත්තේ
පව් කම් වලින් වැළකීමයි කළ යුත්තේ
එනයින් නිවන් මග සලසා ගත යුත්තේ
දන්, සිල්, භාවනා වල නිරතව හොඳට
දිවියම සකස් කළ යුතු වෙයි නිසි මගට
අට ලෝ දහම තුළ නො සැලී සිට සොඳට
දහමෙහි යෙදෙමු, නිති සෙත සැලසෙයි එවිට
සණරාමර පියා ගේ ගුණ සිහි කරලා
සිත තුළ පාප සිතුවිලි යටපත් කරලා
වෙසක් දිනේ වටිනාකම සිහි කරලා
මෙත් සිත් පතුරවමු, දෑ කුල මල දුරලා
බුදු හිමි දෙසුව අයුරින් කටයුතු කෙරුම
ගෙන දෙයි දිවි මගට නිති සැනසුම පරම
ගුරු කොට තබා ගෙන උපදෙස් අපි සැවොම
දහමින් බැඳෙමු, එය වෙයි සුවයම එකම
By Bandula Keerthi Ayupala – Ragama