මෙතෙක් කතාව :
පාලිත බණ්ඩාරවෙල සේවය කරද්දී කාංචනා නම් තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති වුණ මුත් ඔවුන් විවාහ වූයේ නැත. දිනක් කාංචනාගේ දියණිය, නෙත්මිණි ඔහු මුණ ගැසීමට කාර්යාලයට එයි. පාලිත ඇය හා කතාවට වැටෙයි. අද එතැන් සිට.
‘හ්ම්ම්. හරි දැන් මට තේරෙනවා . දැන් එහෙනම් කියමුකෝ ආව කාරණය ?’ පාලිත සැහැල්ලුවෙන් ඇසුවේය. ඇය යම් උදව්වක් බලාපොරොත්තු වෙන්ද ? මා ගැන කාංචනා යම් හැඳින්වීමක් දුවට කරන්නට ඇත. ඒ අනුව යම් ව්‍යාපෘතියකට අනුග්‍රහයක් ඉල්ලීමට වගේ දෙයකට විය යුතුයි, නැත්නම් කොළඹ නැවතීම් පහසුකමක්වත් සොයාගෙනද ? නෑ. එහෙම වෙන්න බෑ. කාංචනාට පුදුමයක් කරන්නට මෙසේ ආවා විය යුතුය. දැන් හැදෙන තරුණ ළමයි අප මේ වයසේදී මෙන් කුලෑටි නැත. දැනුම අතිනුත් වඩා පොහොසත්. පාලිතට කෙල්ල ගැන ආඩම්බර සිතුනි.
‘මං උදව්වක් බලාගෙන ආවා නෙවෙයි. මං මේක කියන්නේ කොහොමද කියලා.ම….මට තේරෙන්නේ නෑ . ’ දැරියගේ ඇස්වලට කඳුළු උනයි. පාලිතට කිසිත් සිතාගන්න බැරිය. කාංචනාට කතා කරානම් හොඳයි වගේ .
‘ම්…දුව මං හිතනවා අපි අම්මට කතා කරොත් හොඳයි කියලා.’
‘එපා සර් . මං කියන්නම්. අම්මා මට කියලා තියෙනවා සර් හරි බයයි කියලා . ’ ඇය සිනාසෙන්න ගත්තාය. ම්… පාලිතගේ කන් දෙක රත්වෙනු ඔහුට දැනේ.
‘මං හැම දේම අම්මා එක්ක කතාකරනවා. අපි දෙන්නා යාලුවෝ වගෙයි. සර්,මට මේ දේ හිතේ තද කරගෙන තවත් ගෙදර ඉන්න බෑ. මට යමක් කමක් තේරෙන වයසට ආපු කාලයේ ඉඳන්ම මේ දේ ගැන හිතුවා. වැඩිහිටියෝ නොහිතන ගොඩක් දේ ගැන ළමයි හිතනවා. අම්මලා තාත්තලා හිතන්නේ අපි පොඩි ළමයි කියලා, ඒත් අපි පොඩි නෑ . ’ නෙත්මිණි දැන් කඳුළු සලයි. පාලිතගේ හිතට මහ බරක් දැනේ. ඔහු කතා කලේ අපහසුවෙනි.
‘කියන්න පුතා . ඕන දෙයක් මට කියන්න .’
‘මට හිතෙනවා, මං දන්නවා ස්.සර් ම.ම.ගේ තාත්තා කියලා .’ එක්විටම ඇය ඔහුගේ අත්දෙක අල්ලා කියා ගෙන ඔහු ඉදිරියේ දණින් වැටුනාය. පාලිත තුෂ්නිම්භූත විය. මොනවා . මේ මොනවද මේ දරුවා කියන්නේ…
‘දුව.නැගිටින්න . නැගිටින්න .’ පාලිත ඇයව කෙලින් කර පුටුවේ වාඩි කරවූයේය. කොතරම් පුදුම දේ සිදු වුණත් පාලිත ලේසියෙන් කලබල වෙන කෙනෙක් නොවේ. ඇය කියූ දේ හිතෙන් ප්‍රතික්ෂේප නොකළ ඔහුගේ සිත වේගයෙන් අතීතයට දිව්වේය. හැම දෙයක්ම ඔහුගේ සිතේ අකුණු ගහන තරම් වේගයෙන් සිතුවම් මවමින් නැතිවෙමින් යළි මවන්නට පටන් ගත්තේය. ම්ම්ම්. කාංචනා මුකුත් මට නොකිව්වේ ? මෙය ඇයගේ බොරුවක්ද ? ම්…නෑ . . කාංචනා බොරු කරන ජාතියේ කෙනෙක් නොවේ. මේක සුමේධගේ ප්ලෑනක්ද ? එහෙම නැත්නම් මේක මේ දරුවා හිතෙන් හදා ගත් මායාවක්ද ? ඇයට කිසියම් අසනීපයක්වත්ද ? කාංචනාට කතා කළ යුතුමය. පාලිතගේ සිත සංසුන් විය.
‘දුව මොනව හරි බොනවද ? අපි මොනව හරි බිබී කතා කරමු ’ පාලිත දොර ඇර එළියේ සිටින ලේකම්වරියට කතා කළේය. අමුත්තන් වාඩිවී සිටින අසුනක වාඩි වී නෙත්මිණිගේ යෙහෙලිය විය යුතු ගැහැනු ළමයා මැගසින් එකක් බලමින් සිට ඔලුව උස්සා ඔහු දෙස බැලුවාය. ඇයත් සමඟ සිනාසුනු පාලිත, තම ලේකම්වරියට;
‘මේ දෙන්නට බොන්න මොනවා හරි.’
‘මං ගේන්න කිව්වා සර් .’
‘තෑන්ක්ස් ‘
පාලිත නෙත්මිණිව කැඳවාගෙන කාමරයේ පසෙක තිබූ සුව පහසු අසුන් වෙත ගොස් ඒවායේ වාඩි විය. ඇය කඳුළු පිස දමයි. ඇය අසනීපයකින් පසු වන බවක් නොපෙනේ. බොරුවක් කරන බවක් ද නොපෙනේ.
‘හරි අපි දැන් ටිකක් සංසුන්ව කතා කරමු . ඔක්කොටම කලියෙන් මට කියන්න ඔයාගේ යාලුවා මේ බවක් දන්නවද ?’
‘නෑ මං එයාට මුකුත් කියලා නෑ . මං කිව්වේ සර් අපිව දන්න කෙනෙක්, මට හම්බවෙලා කතා කරන්න ආසයි කියලා විතරයි,’ කෙල්ල පණ්ඩිත විදියට කිව්වාය.
‘හොඳයි . එහෙනම් කියන්නකෝ දුවට ඇයි හිතෙන්නේ මං දුවගෙ තාත්තා කියලා ? අම්මා එහෙම කිව්වද ? එහෙම නැත්නම් සුමේධ කිව්වද ? ඔයාට තේරෙනවනේ, මට මේක ෂොක් එකක් .’
‘ඔව් මට තේරෙනවා. නෑ අම්මා මට එහෙම කෙලින් කියලා නෑ. නමුත් අම්මා ඉස්සර සර්ව ටීවී එකේ දකින කොට අමුතු වෙනවා. කල්පනා කරනවා. පත්තරේක විස්තරයක් තිබුණොත් ඒක දිහා බලාගෙන හිතනවා. ඒවා කපලා එකතු කරලා තියෙනවා. ලොකු වුණාම මං ඒවා දැක්කා. තාත්තට කිසි දේක ගාණක් තිබුනේ නෑ. එහෙම නැත්නම් ඒවා පෙන්නුවේ නෑ. තාත්තා සල්ලි හම්බ කරනවා, විනෝද වෙනවා. එයාගේ ජීවිතය එච්චරයි. ඒ දෙන්නා සතුටෙන් ඉන්න බවක් මට පේන්නේ නෑ. දැන් ඒක වැඩියි, ’ ලේකම්වරිය බීම තබා ගියාය. බීම ටිකක් බිව් නෙත්මිනි;
‘මං තාත්තාට එච්චර ළං වුනේ නෑ. මං හිතන්නේ මට ලොකු වෙන කොට තාත්තගේ විදිය අල්ලන්නේ නැති වුණා. මට පොඩි කාලෙම හිතුනා මං තාත්තා වගේ නෙවෙයි කියලා. කවුරුවත් කිව්වේ නෑ මං තාත්තා වගේ කියලා. මං අම්ම වගේ කියලයි හැමෝම කිව්වේ. අම්මයි ආච්චියි ඒ දවස්වල රහසින් කුටු කුටු ගගා ඉඳලා මං එනකොට නවත්වනවා. මට ඒවා මතකයි. මාමලා මට විහිළු කරලා හිනා වුණා. සීයා නම් බණින එකමයි කළේ. එයා හොඳයි, ඒත් තරහ යනවා’
‘කෝ දැන් සීයයි ආච්චියි ?’
‘සීයා නැති වුණා, ටිකක් කල්. ආච්චා වයසයි. ’ පාලිත ඔලුව වැනුවේය.
‘මම ඕලෙවල් පංතියේ දී අම්මගෙන් අහන්න පටන් ගත්තා සර් ගැන. අම්මා ඒ විස්තර මට හැම දෙයක්ම කිව්වා. සර් එක්ක තිබුණ සම්බන්ධය ගැන කිව්වා. මං බයෝ සයන්ස් කළේ. අනික දැන් Internet එකෙන් හැම දෙයක්ම හොයා ගන්න පුළුවන්. අපි මෝඩයෝ නෙවෙයිනේ . ඒ ලෙවල් කරද්දි මට සැකයක් ඇති වුණා . මං අම්මගෙන් වද කරලා ඇහුවා. අම්මා කිව්වා, තාත්තව බඳින කොටත් අම්මට මාව Conceive වෙලා වගේ තේරුනා කියලා. අම්මා බයට හොරෙන් ඉඳලා. අම්මටත් ඒ දේවල් ගැන දැනුමක් තිබිලා නෑ. පස්සේ ආච්චට විතරක් කියලා. මං ඇහුවා ඇයි සර්ට ඒ බව කිව්වේ නැත්තේ කියලා. අම්මා කිව්වා එතකොට පරක්කු වැඩියි. සීයා සර්ට කැමතිත් නෑ. සර් තීරණයක් ගන්නත් බයෙන් හිටියේ කියලා. සර්ට බල කරන්න අම්මාට හිත දුන්නේ නෑ කිව්වා. සර් ඉහළටම යන කෙනෙක්, සර් හරිම අහිංසක කෙනෙක් කියලා. ඒ නිසා අම්මා තාත්තව බඳින්න කැමති වුණා කියලා. මුලදි ප්‍රශ්නයක් වෙලා නෑ. පස්සෙදි අම්මට තේරුනාලු අම්ම කළේ වැරැද්දක් බව. ඒත් හිතේ තද කරගෙන ඉඳලා. ’ නෙත්මිණි තමා දෙස බලා සිටී. පාලිතට තම කණ් අදහාගත නොහැක. නමුත් මෙය ඇත්තක් විය හැකි බව ඔහුට වැටහේ. තමා එදා වාහනේ යනවිට නවත්වා ඇය සමඟ කතා කළා නම්…..
පාලිත කරන්නේ කුමක්ද ? නෙත්මිණි ඔහුගේම දියණිය ද ? ඉදිරි කොටසෙන් .
මතු සම්බන්ධයි.
By Pantaka Bhatiya Siriwardhana – Sri Lanka