ඇඹිලිපිටියේ ගම්උදා භූමියේ ඉදි කෙරුණ ගොඩනැගිලි, ගම්උදාවට පස්සේ ප්‍රයෝජනයට ගත්තා. නගර ශාලාව උප දිසාපති කාර්යාලය ලෙසත්, අනෙකුත් ගොඩනැගිලි රජයේ නොයෙකුත් දෙපාර්තමේන්තුවල උපකාර්යාල ලෙසත්. ඒ වගේම පාර්ලිමේන්තු ගොඩනැල්ල පාවිච්චි කළේ දේශනා සහිත පුහුණු මධ්‍යස්ථානයක් හැටියට. ගම්උදා භූමියම නිර්මාණය වෙලා තිබුණේ කොළඹ මහා නගරය විදියට. භූමි අලංකාරය කියල වැඩක් නෑ හරිම ලස්සනයි.
කොළඹ ඉඳලා දින කීපයකට කලින් මම ඇඹිලිපිටියට ගියේ නිලධාරීන් දෙදෙනෙක් සහ නිලධාරිනියක් සමඟ විශේෂ වැඩමුළුවකට සහභාගි වෙන්න. එහි පරමාර්ථය වුණේ පළාත් පාලන, ප්‍රාදේශීය සභා, ග්‍රාමෝදය මංඩලවලට අලුතින් පත්වන මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පුහුණු කිරීමට. එදා වැඩමුළුව අවසන හවස හතර රාත්‍රී නතරවීම සඳහා අපි ආවේ කරුණාරත්න මහත්තයා භාරව සිටි ඇඹිලිපිටියේ සෙවන විශ්‍රාම ශාලාවට. පුහුණු වැඩසටහන් කළමනාකරණය කළ විශ්වනාත් මහත්තයාත් නැවතිලා හිටියේ සෙවනේ.
‘සර්ලා අද මෙහෙ නතර වෙන්නෙපා දැන්ම යන්න. මුළු ඇඹිලිපිටියම ගිනි අරගෙන. වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා මේකත් ගිනි තියන්න පුළුවන්.’ ඒ ආරක්ෂක සේවකයන්ගෙන් අපට ලැබුණු උපදේශයයි. කොළඹ නිලධාරීන් ආපු ජීප් රථය පැදෙව්වේ රියැදුරු චන්ද්‍රදාස. මගේ වාහනේ පැදෙව්වේ රියැදුරු මාතුපාල.
‘චන්ද්‍රදාස, පරිස්සමින් වාහන අරගෙන යන්න.’ මම උපදෙස් දුන්නා.
චන්ද්‍රදාසගේ වාහනය ඉස්සරහින්. අපි පස්සෙන්. වාහනය ප්‍රධාන පාරට දැම්මා විතරයි. මුළු පළාතම කළු දුමාරයෙන් පිරිලා ගිනිගන්නව. පාර දිගටම ටයර් පුච්චනවා. ගොවිජන සේවා කන්තෝරුවටත් ගිනි තියල. ඇඹිලිපිටියේ කැටගල් ආර හෝටලයටත් පන්සලටත් අතර පාර මැද බස් දෙකක් පෙරළල පුච්චනව. චන්ද්‍රදාස නැවතුනා. පාරෙන් යන්න බැහැ.
‘වැට කඩාගෙන යන්න. ජීප් එකට තුවාල උනාට කමක් නෑ. හැබැයි මොනම හේතුවකටවත් නතර කරන්න එපා.’ මම කිව්වා.
චන්ද්‍රදාස වැට කඩා ගෙන ජීප් එක අයිනකින් දැම්මා. අපිත් ඔහුට පස්සෙන්. පාර දිගටම කුපිත වෙච්ච තරුණයෝ විකල් වෙලා කෑ ගහනවා. පාර දෙපැත්තෙම, හැම ගේකම කළුකොඩි. වැඩි දුරක් යන්න වුණේ නැහැ. මහා බුරුත ගහක් කපල පාර හරහට දමල.
බුරුත අතු උඩින් එරඬු වැට කඩාගෙන කැලෑවට දාලා චන්ද්‍රදාසලයි අපියි පිම්මේ යනවා. ඉස්සරහ ගොඩකවෙල නගරය. නගරෙ ගොඩනැගිලි එකක්වත් පේන්නෙ නෑ. එකම ගිනි ජාලාවක්. කුපිත වුණ මිනිස්සු කඩි ගුලක් වගේ. චන්ද්‍රදාසගෙ වාහනය ඒ මිනිස් ගංගාව මැද්දෙ නොපෙනී ගියා.
‘සර් හරවන්නද? අපි ආපහු යමු.’ මාතුපාල ඩක ඩක ගා වෙවුලමින් ඇහුවා.
‘යකෝ මාතුපාල. කුණුහරුපද කතා කරන්නෙ.’ මට කෑ ගැහුණා. ‘ඉස්සරහින් ගිය වාහනේට මොනවා වුණාද දන්නේ නෑ. වෙන දෙයක් අපිටත් උනාවෙ. යමු.’ මම උත්තර දුන්නා.
අතර මග තැනක, මිනිස්-පොකුරු මැද්දෙ අපි හිර වුණා. ඇහිපිය ගහන නිමේශයෙන් තාරබාල්දි කලුතෙල් අතට ගත්තු කොල්ලො අපේ වාහනය නෑව්ව. එකෙක් දොරවල් ඇරල අපිව ඇදලා ගත්ත එළියට. චන්ද්‍රදාසගෙ වාහනය කළු තෙල් වලින් නාවලා ගිනි තියන්න හදනවා. කොල්ලො යම බල්ලෝ වගෙයි. ඒ සිද්ධිය වුණේ ගොඩකවෙල නගරයක් පංසලත් අතර. මට එක පාරටම පංසල මතක් වුණා.
‘මරපියව්. ගහ පියව් ගිනි තියපියව්.’
‘හොරිකඩයො.’ මරහඬ.
මම වාහනෙන් එළියට පැන්නා. මට හිතාගන්න බෑ, කොහොමද මට ඒ තරම් හයියක් ආවෙ කියලා. මම ජීප් එකේ බොනට් එක උඩට පැන්නා. දුමාරය මැද්දේ සියල්ල නොපෙනී ගියා. මම දන්නා තරම් හයියෙන් කෑ ගැහුවා. ‘මෙතන මහගම හාමුදුරු ඉන්නවද? මෙතන මහගම හාමුදුරු ඉන්නවද?’ මගේ අඬ ගිගුම් දුන්නා.
‘කවුද යකෝ?’ මහගම හාමුදුරුවෝ සිවුර කරට අරගෙන දුවගෙන ආවා. මම ජීප් එකෙන් බිමට පැන්නා. ඒ සමගම හිසේ රතු ලේන්සුවක් බැඳගත්ත තරුණයෙක් මොටෝ සයිකලයක් පැදගෙන වේගයෙන් ආවා.
‘ජිනදාස වීරසිංහ කාරය ඉවරයි.’ ජයගෝෂා ඔල්වරසන් නැගුණා.
‘ආන්, නෝනගම හංදියෙදි ගල් ගහල කාර් එකේම කම්ම්බස් කරල.’
මේ ප්‍රීති ගෝෂා මැද්දේ හාමුදුරුවෝ අපේ ඉරණමට අණ දුන්නා. හාමුදුරුවන්ට මා මතක් වගක් පෙනුණේ නෑ.
‘සිරිපාල මුන් ඔක්කෝම එහා වංගුවට අරන් යනවා. මම ඇවිත් කියන්නම් කරන දේ.’
මංත්‍රී වරයෙකු බිම හෙළීමේ ජයගෝෂාව තවත් රැව් දුන්නා. විජිගීෂාවෙන් පළාතම ගිගුම් දුන්නා.
‘ධනපතියා.’
‘ගංජා කාරයා.’
‘නොනවතින අරගලයට ජය වේවා. මාක්ස් එංගල්ස් ජීවමානයි.’
‘කොම්ප්‍රදෝරුවා.’
අපව ඉස්සරහ වංගුවට රැගෙන ගියා. සියල්ල මරණය ඉව වැටී ගැහි ගැහී බලා සිටියා. රජයේ වැඩ කිරීම හෙවත් හොරිකඩ කමට හා දේශප්‍රේමින්ට විරුද්ධ වීමට දඬුවම මරණයය. එය පොලු වලින් ගසා, කැත්තකින් පිහියකින් ගෙල කපා, වාහනය ඇතුළේම ගිනිතබා, ගල් කටස් වෙඩි පාරකින් හෝ ඔබ කැමති ආකාරයකටය.
ටික වේලාවකින් මොටෝ සයිකලයක පිටිපස්සේ ඉඳගෙන මහගම හාමුදුරුවෝ ආවා. අපේ ජීවිතය මරණය තෝරා දෙන මොහොත පැමිනුණා. හාමුදුරුවන්ගේ නියෝගය කන වැටෙන කල් සියලු දෙනාම ගැහි ගැහී හිටියා. නිලධාරිනියට දරුවන් ගැන මතක් කරමින් වාහනයේ සිට හඩන්නට ඉඩ දෙන්න තරම් දේශ්ප්‍රේමින් කරුණාවන්ත වුණා
‘මග දිගටම එකම ගිනි ගොඩක්.’ හාමුදුරුවෝ අපට කතා කළා. ‘අද පංසලේ නතර වෙලා යන්න, පෙරේරා සර්.’ හාමුදුරුවෝ කිව්වා.
සියල්ලෝම එකිනෙකාගේ මූණු බලා ගත්තා.
‘නෑ ඒක හරි නෑ. අපි යන්ඩ ඕනේ. අර ජීප් එකේ කාන්තාවකුත් ඉන්නවනේ.’ මම කිව්වා. ‘ගහන්න කළු කොඩි අපේ ජීප් වල දෙපැත්තෙම.’ මම ඉල්ලා සිටියා.
‘එහෙනම් තෙරුවන් සරණයි.’ ඔවුන් ජීප් රථය සුද්දකර දුන්නා.
‘තෙරුවන් සරණයි.’
මාදම්පෙ හංදිය එකම ගිනි ජාලයක්. පැල්මඩුල්ල සියල්ල වසා තිබුණා. අතර මග දුම්දාන ටයර් හා දැවෙන සිරුරු කීපයක් තිබුණා. කුරුවිට, ඇහැලියගොඩ වැනි නගර සොහොන් බිම්. ගැටහැත්ත හන්දියේ ලයිට් කණුවක මළසිරුරක් පිළිස්සෙමින් තිබුණා. ඔහු දේශප්‍රෙමී ඇඳිරි නීතිය නොතකා බසය ධාවනය කළ ලංගම රියදුරෙක් යැයි පසුව ආරංචි වුණා.
අපි කොළඹට ආවා නොවෙයි, ගිනිජාලා, දැවෙන මිනිස් සිරුරු වල අපුල ගඳ මැද්දෙන් පියෑඹුවා. දේශප්‍රේමීන් රට අතට ගත්, යක්ෂ-මාරයින් මිනිස් ජීවිත වල වටිනාකම තක්සේරු කළ තවත් එක් කළු ජූලියකි ඒ.