ඇගේ නම පල්ලවී විය. පූනේ ශාන්ත වින්සන්ට් උසස් ද්විතීයික පාසලේ නව වැනි වැනි වසරෙහි අනෙකුත් සියලුම පිරිමි ළමයින් මෙන්ම නීරද් ද ඇයට කැමැත්තක් දැක්වීය. ඇය ගේ රූමත් පෙනුම, අධ්‍යාපනයට දැක්වූ විශිෂ්ඨ සමර්ථකම මෙන්ම ඇය සතු වූ ආත්ම විශ්වාසය සමඟින් ඇය පන්තියේ දිදුලන තාරකාව බවට පත් ව සිටියා ය. ගැහැනු ළමයින් සමඟ පහසුවෙන් සංවාද කිරීමට හැකියාවක් නොතිබූ කොල්ලෙකු වූ නිසාවෙන් ම නීරද් හට සිදු වූයේ දුර සිට ඇයව අගය කර සෑහීමට පත් වීමට ය.
පාසලේ වාර්ෂිකව පවත් වන ගායනා තරඟයට සූදානම් වීම උදෙසා ඔහු මාස තුනක් තිස්සේ නිතිපතා පුහුණුවීම්වල යෙදී සිටියේ යම් අරමුණක් පෙරදැරිව ය. ‘ඒ තරඟයෙන් මම ජයග්‍රහණය කරොත්, පල්ලවී මගේ වේවි,’ නිතරම ඔහු තමාට ම කියා ගත්තේ ය. ඒ තීරණාත්මක දිනය පැමිණියේ ය.
ඔහු බලාපොරොත්තු වූ පරිද්දෙන් ම පල්ලවී එහි ඉදිරි පෙළෙහි අසුන් ගෙන සිටියා ය. ඔහු ගායනා කළේ හින්දි චිත්‍රපටයක ජනප්‍රිය ගීතයක් වන ‘තන්හා දිල්’ (හුදකලා හදවත) වූ අතර, තමා හොඳින් ගායනාව ඉදිරිපත් කර ඇති බව, ලැබුණු අත්පොළසන් නාදයෙන් ඔහුට වැටහුණි. එයිනිදු වඩාත් සොඳුරුතම ප්‍රතිචාරය වූයේ පල්ලවී වෙතින් දිස් වූ නිර්ව්‍යාජ වූ දිරි ගන්වන අන්දමේ පෙනුමයි.
විවිධාකාර තරග කරුවන් පැමිණ නික්ම ගියමුත් තවමත් සැබෑවට ම කැපී පෙනෙන ලෙස බැබළීමට සමත්ව සිටියේ නීරද් පමණි. මිළඟට ගීතයක් ගැයීමට පැමිණියේ 10 වැනි වසරේ පොත් ගුල්ලා වූ සුධීර් මිශ්රා ය. සැබෑවට ම, සුධීර්ට ගායනා කිරීමට විශේෂ අපහසුවක් නොතිබුණු නමුත් නීරද් සහ ඔහුගේ අනෙක් සියලුම මිතුරන් නොනවත්වා සිනාසෙන්නට පටන් ගත් අතර කුමන මට්ටමකින් සැලකුව ද ‘බූ!’ ‘බූ!’ ලෙස කරනු ලැබූ මුරගෑම අතිශයින් ම කුරිරු විය. තම ගායනය අවසන් වූ වහාම සුධීර් වේදිකාවෙන් බැස සැඟව ගියේ ය.
ඔහු අපේක්ෂා කළ පරිදි ම පළමු ත්‍යාගය නීරද් හට හිමි විණි. හෙතෙම කුසලානය අතට ගෙන ප්‍රේක්ෂකාගාරය දෙස නෙත් යොමා පල්ලවි සිටී දැයි විපරම් කළේ ය. ඇය එහි නොවූවාය. ඇය සුධීර්ගේ පසෙකින් වාඩි වී ගෙන ඔහුව සනසන අයුරු පාසල් ශ්‍රවණාගාරයෙන් එළියට ආ. නිරද් දුටුවේය. ‘මොකද මෝඩයෝ තමුසෙට එයාට විහිළු කරන්න ඕන වුණේ?’ ඇය නීරද් වෙත කඩාපැන්නා ය. ඔහු නිරුත්තර විය.
‘සමහර විට සුධීර් හොඳ ගායකයෙක් නොවෙන්න ඇති. සමහර විට එයාට සිංදු කියන්න බැරි වෙන්නත් පුළුවන්, ඒත් ඒක එහෙමයි කියලා ඔයාට එයාව විහිළුවට ගන්න අයිතියක් ලැබෙන්නේ නෑනේ. අඩුම තරමේ එයා එච්චර දක්ෂ නැති දේකට හවුල් වෙන්න හරි හදනවා. ඔයා කවදාහරි එහෙම උත්සාහයක්වත් අරගෙන තියෙනවා ද? එයාට කොහොම දැනෙන්න ඇති ද කියලා ඔයාට අදහසක්වත් තියෙනව ද? ඇය සුධීර්ගේ උරතලය මත අත තැබුවේ ඔහු නිශ්ශබ්දව හිඳ ගෙන සිටිනා අතර ය.
‘සුධීර්, අපි කරපු දේ ගැන මට ඇත්තටම කණගාටුයි. මම දන්නවා ඔයාට ඒක පිළිගන්න අපහසුයි කියලා. නමුත් මම මේ ඇත්තටම යි කියන්නේ…’ අවසානයේ නීරද් තෙපලීය.
සුධීර් හිස සලා කඳුළු නැවත සඟවා ගන්නට වෑයම් කළේ ය.
මඳ නිහැඬියාවකින් පසු ‘පල්ලවී ආපහු ගෙදර යන්නේ නැද්ද?’යි නීරද් විමසුවේ ය.
ටික වේලාවක් යන තුරු ඇය පිළිතුරු නුදුන්නා ය.
‘සුධීර්ගේ ගෙදර මගේ ගෙදරට වැඩි දුරක් නෑ. එයාගේ තාත්තා ආවම මම එයාත් එක්ක යන්නම්,’ ඇය කිවුවාය. ඔහු ආපසු හැරී ගෙදර යාමට පටන් ගත්තේ ය. දැන් ඔහුගේ අතේ ඇති කුසලානය තවදුරටත් වටිනාකමක් නොමැති තවත් එක් ලෝහ කැබැල්ලක් පමණි.
රචනය – ඉන්දියානු ජාතික විකාස් ප්‍රකාශ් ජෝශි
පරිවර්තනය – චාරික ජනිත්.
By Vikas Prakash Joshi – India