සිරියා පොල් ගෙඩිය රැගෙන කුස්සිය පැත්තෙන් එළියට බසින විට යාන්තමට ඇඳිරි වැටී තිබිණ.
“අනේ කවුද්දං ළමයෝ ඉක්මනට පොල්ගෙඩිය ඔයං වරෙං ගොම්මන් වෙලාවෙ. දිෂ්ඨියක් වැටෙන්න ඇහැකි.” ඇලිස් තම දුවට මහ හඬින් කෑ ගැසුවාය.
“හරි අම්මේ, අපි පුංචි ඈයොද?” කියවන විටම සිරියා, “ඉක් ඉක් බුදුඅම්මෝ, මහසෝනා. ආ…හ්,” කියමින් මරලතෝනි දුන්නාය. ඇලිස් දුවගේ විලාපය ඇසී එහි යන ඩිංගිත්තට සිරියාට සිහිය ද නැත. දත කටද පූට්ටුය.
“හත්වලාමයි! හිච්චි කෙල්ලට මහසෝනා ගහලා. වරෙල්ලා,වරෙල්ලා හින්නි අප්පූ…පූ, දුවලා වරෙල්ලා.” ඇලිස්ට කෑ ගැසිනි.
සිරියාට තෙල් මතුරන්ට පැමිණි උපාසක ගුරුන්නාන්සේ හෝරාවකින් පමණ ජීවං කළ කහ නූලක් අතේ බැඳ ඩිංගිත්තකින් ඇයට අඩ සිහිය ලැබිණ.
“හොඳෙයි, දැන් ඉතිං මක්කොරන්ද? මහසෝනා වැහිලා ඉන්නේ. තොවිලයක් ඉක්මනටම සුදානම් නොකොළොත් කම්මුතුයි. තේරුනැයි ඔහෙලාට.” උපාසකගේ අනතුරු ඇඟවීමකි.
“ඇත්තෙයි? තේරුණා ..තේරුණා. මක්කැයි නොතේරෙන්නෙ? වෙච්ච දේට දැන් අපි මක්කොරන්නෙයි?” ඇලිස් දෙගිඩියාවෙනි.
“එහෙනං ඉතිං හෙට දිහාට තොවිලය නටමු. අඩුක්කු ටික හොයා ගන්න ඕන.” ගුරුන්නාන්සේගේ කටහඬ ගැඹුරුය.
“මක්කැයි හැබෑට ඕනෙක්කේ? ඔහේ අපිට කිව්වනං කොයිබෙන් හරි හොයලා දෙන්නං.” ඇලිස්ට ඉවසිල්ලක් නැත.
“මේ ඇහුනැයි ඔහේට?” ඇලිස් ස්වාමියා වූ හින්නි අප්පු දෙසට හැරුණාය.
“මොකැක් කිව්වේ?”
“කොයි මගුල කරන්නත් පිච්චියක් ගෙදර හරියේ නෑ…ඔහේ කාගෙන් හරි ණයක් ගත්තනං.” ඇලිස් තම ස්වාමියාට රහසින් මිමිණුවාය.
“කවුද ඇලිසෝ අපිට ණය දෙන්නෙ? අනික ඔය බොරු වැඩවලට කෝ බාන් කාසි ? පොල් ගෙඩිය ඉල්ලං ආවෙත් පහළ වත්තෙ මහත්තයගෙන් ණයට නෙව.”
“මේ ගේ කුස්සිය උගසට තියලා හරි මගේ හිච්චි කෙල්ල බේරගමූ. අනේ ඒකිට වෙච්ච දේ.” යන්ත්‍ර මන්ත්ර ගැන ඇලිසාට තිබුණේ තද විශ්වාසයකි.
ඇයගේ කරදරය ඉවරයක් නැත.
අල්ලපු වැටේ කලු මහත්තයා මැදි වයසේ අවිවාහක පවුලේ එකම පිරිමි දරුවාය. ඔහුගේ පියා එකල හින්නි අප්පු එලවා දමා එම ඉඩම තමන්ට අයිති කර ගැනීමට නොකළ දෙයක් නැත. එබැවින් පරම්පරාගත විරසකයක් ඔවුන් අතර ඇති වී තිබුණි. ඔහුගේ එකම නංගී ඇඹිලිපිටියට දීග ගොස් දැනට දෑ අවුරුද්දකි. වයසැති තම අම්මා අසනීපයෙන් එකතැන්ය. තාත්තා මිය ගිය පසු දේපලවල ආදායම ඔහුට ලැබිණ. හින්නි අප්පුට කලු මහත්තයා හැර වෙනත් පිහිටක් ගැන සිතා ගත නොහැකිය. තමන්ට අයත් පුංචි ගේ කුස්සිය ඇපයට තබා ණයක් ගත හැකි නම් ඒ ඔහුගෙන් පමණි. එබැවින් ඔහුට අල්ලපු වත්තට ගාටන්නටම සිදු විය.
අවසානයේ වෙච්ච සංසිද්ධිය මුළුමනින්ම කලු මහත්තයා එක්ක දොඩවන්නට හින්නි අප්පුට සිදු විය.
“හත්තිලව්වයි. අනේ උඹලටත් වෙලාවට වෙන අකරතැබ්බවල හැටි.” කලු මහත්තයා කීවේ ය.
“ඒකනේ මහත්තයෝ. කෙලීගේ මිනිහත් මාගම් පැත්තෙ කනවැන්දුම් ගෑණියෙක් එත්ක බින්න බැහැලා. හිරේ කැඩුණා. ගෙදර උන්දැලා ජීවත් වෙන්නෙ මම හම්බු කරන පනං දෙකෙන්. ඒකත් ගල්පලේ වැඩ තියෙන දවසට.”
“හ්ම්. මට තේරෙනවා උඹලා අල්ලන අඩව්ව.” කලු මහත්තයා කාරුණිකය.
“පුළුවන් නම් ගේ කබල ණයට තියං රුපියල් හයසීයක් ඔහෙගෙන්වත් ඉල්ල ගන්න කියලයි බැලුවේ බුදු මහත්තයෝ.”
“හින්නි අප්පු. තොවිලේ වියදම් මම දෙන්නම්. පුළුවන් විදියකට ඔහේට මගෙ වත්තෙ පිටියේ වැඩක්වත් කරලා ගෙවන්න ඇහැකි නෙහ්?” කතාව එතැනින් ඉවර වීය.
තොවිලේ ඉවර වන විට සිරියාට හොඳට සනීප වී තිබුණි. තොවිලේට පසු හින්නි අප්පු බොහෝ දිනවල එම වත්තේ කුලීයක් මලීයක් කිරීමට හුරු විය. වත්ත සුද්ද කරන දිනවල දී කලු මහත්තයා හවසට පනම් කීපයක් ඔහුගේ අතමිට මෙලෙව්වා මිස ණය ගැන මතක් කළේ නැත. ඇලිස් ද කලු මහත්තයාගේ මහළු මවගේ උපස්ථාන හැකි විටක කර දුන්නේ කුලියක් බලා පොරොත්තුව නොවේ. තොවිලයත් සමග පවුල් දෙක වඩ වඩාත් සමීපවීම නිසා හින්නි අප්පුට ද වාසි විය.
කලු මහත්තයාගේ ඉඩම හතර කොනේ ගොක් පැල හතරකි. හින්නි අප්පුගේ ගෙදර කුස්සිය පැත්තේ කෝපි ගස් යටද ගොක් කොළ පැලකි. කළුමහත්තයා බදදා හා සෙනසුරාදා ඇඳිරිය වැටෙන විට ගම්බාර දෙවියන්ට පහන් පත්තු කර සුවඳ දුම් අල්ලයි. හතුරු අන්තරාවල් කරදර තොර වී පවුලේ ආරක්ෂාව හා දියුණුවට මෙම පුජාවන් සති හතක් කළ යුතුව තිබුණි.
ඔඩ්ඩි යක්ෂ දේවතාව හා හූනියන් දේවතාව යනු ගම්බාර දෙවියන්ට කියන තවත් නම්ය. එලෙස එකළ ගැමියන් ඇදහු මෙම දෙවියන්ගේ අතේ ගිනි කබලෙකි. සුරතේ කඩුවකි. සර්පයින් ඇඟේ ආභරණ වෙයි. නිල්පාට දෙවියාගේ වාහනය අශ්වයෙකි.
බදාදා හැන්දෑවේ හින්නි අප්පු කුස්සිය පැත්තේ කොටයක් උඩ වාඩි වී බුලත් විටක් හපන්න ගත්තා පමණි. එක්වරම අල්ලපු වත්තේ අඳුරු කෝපි පඳුරු අතරින් එළියක් උඩට මතු විය. හූනියන් දෙවියන් අඳුරේ උඩ පහළ යන හැටි මතු වූ එළියට දකින්නට ලැබීම හරිම පුදුමය. හින්නි අප්පු යක්ෂ පෙරේත දිෂ්ටිවලට බය නැත. හිමින් හිමින් සීරුවේ වැට අද්දරට ගොස් බලන විට කලු මහත්තයා හූනියන් දෙවියන්ගේ පින්තූරයක් රැගෙනවිත් පහන් පැල ඉදිරියේ පුජාවකි.
“ගිය බදදා සවස ඇඳිරි වැටෙන විට සිරියා බය වූ මහසෝනා ගැන දැන් හින්නි අප්පුට පැහැදිලිය.”
නමුත් සිරියාට වූ හදියෙන් කලු මහත්තයාටත් හින්නි අප්පුටත් දෙදෙනාටම අලුත් අසල්වැසි හිත මිතුරු කම ඇති වීම නිසා වාසිය. ඇලිස් තම එක්තැන් වූ මව බලා ගැනීම නිසා කලු මහත්තයාට හිතට මහත් සැනසිල්ලකි.
එබැවින් මුදල් නොගත්ත ද වරින් වර හාල් පොල් ඇලිස්ට ලැබිණ. එක් දිනක් මහලු මවගේ සාත්තුවට ඇලිස්ට යෑමට නොහැකි තරමට ඇයට හන්දිගායකි. එබැවින් එදින සිරියාට එහි යාමට සිදු විය. සිරියා ගෙදරට ගොඩවන විටම කලු මහත්තයාගේ හිතට ඇති වුයේ සතුටකි.
“අනේ සිරියා. සිරියගෙ අම්මා අසනීපෙන් කියලා දැනගත්තම මම කල්පනා කළේ සිරියටවත් ඇහැක් තරමින්වත් එන්න කියලා කියන්න තමයි.”
“මහත්තයා අපිට කරපු උදව්වලට නොකිව්වත් එන්න එපැයැ?” සිරියා කෘතඥවෙමින් මිමිණුවාය.
“එන්න සිරියා, එන්න එන්න. අම්මා ඉන්න කාමරේ මෙහේ.” මහත්තයා කඩිසරය.
සිරියා ඇලිස්ටත් වඩා හොඳින් කාමරය පවා පිරිසිදු කොට ලෙඩාට සාත්තු සප්පායම් කළේ කැමැත්තෙනි.
“ආහ්. සිරියට තේකක් වක් කළා” මහත්තයා අතේ කෝප්පයකි.
“අනේ මහත්තයා, එපා. එපා පව් පුරවගන්න එපා. පිරිමි ගැනුන්ට තේ වක්කරලා.”
“හරි කමක් නෑ. දැං වක්කරපු තේක බොන්න. ඔයා ගොඩාක් මහන්සි වෙනවා මම දැක්කා.” මහත්තයා සතුටින් කියවයි.
“ඒ වුණාට මට හිත කියන්නේ නෑහ්. මහත්තයා හදපු තේ එක බොන්න.” සිරියා ගෞරවයෙන් කීවා ය.
“පිස්සු නැතිව බොන්න බොන්න ළමයෝ නිමෙනවා. අනික් දවසේ එහෙනං මටත් එක්ක සිරිය වක්කරන්නකෝ තේ.” මහත්තයාගෙන් ඉල්ලීමකි.
ඊට පසුදින සිට ඇලිස් සුවය ලැබෙන තෙක්ම සිරියා අල්ලපු ගෙදර එක්තැන් වූ මව පමණක් නොව කලු මහත්තයාගේ ද ආවතේවකම් කළේ සැලකුම් සහගතවය. ගෙදර දොරද පිළිවෙලට අස් කර තබන්නට ඇය අමතක කළේ නැත.
ගෙදර සිරියාවත් පිළිවෙලත් එන්න එන්නම වැඩිවන විට කල මහත්තයාට දැනුනේ සිරියා ගෙදරට සිරියාවියක් බවය. සිරියා පෙනුමැති ඇඟ පසඟ අඩුවක් නැති ගැහැණියකි. නමුත් කලු මහත්තයා තඩි බඩ සහිත මැදිවියේ පිරිමියෙකි. සිරියා ගැන කීපවරක්ම හැඟීම් තම සිත තුළට ආවත් කලු මහත්තයාට සිරියාගෙන් කිසිවක් අහන්නට සිතට වෙර දුන්නේ නැත. සිරියා තමා වැනි කලු මහත පිරිමියෙකුට කැමැති වන්නට ඉඩක් ද නැති බව ඔහු දනී.
සතියේ සිකුරාදා නගරයට ගොස් පැමිණි කලු මහත්තයා කුස්සියට ගියේ සිරියාට මිල දී ගෙන පැමිණි කුඩා තෑග්ගක් සමගය.
“ආහ්. මෙන්න සිරියට මගෙන් පුංචි තෑග්ගක්. හැමදාම මට කරන උදව්වලට.”
“අනේ මහත්තයාගෙන් අපිට උදව් මිසක් අපි මොනවද කරන උදව්. මහත්තයා හින්දා අපි කාලා ඇඳලා ඉන්නේ. නැත්තං මැරිච්ච තැන්වල ගස්.” සිරියාට කියවිණි.
“හරි හරී… මේ පුංචි තෑග්ග ගන්නකො, හා හා පුරා කියලා ඔයාට දීපු.” මහත්තයා ඇයට ළංවිය.
” මගේ අම්මෝ. රත්තරං මාලයක් මහත්තයා. අපෝ ! එච්චර මං වටින්නෙ නෑ. අනේ අනේ මහත්තයෝ මට බයයි.” සිරියා බයෙන් ගුලි ගැසුණි.
“ඉන්න ඉන්න. කෝ දෙන්න ඔය මාලේ මට.” කියමින්ම මාලේ අතට ගත් කලු මහත්තයා සිරියාගේ ගෙලට බලෙන්ම එය පළඳන විට සිරියා ඇඹරෙමින් එයට අවනත වූවාය. ඔහුගේ දෑත් සිරියාගේ බෙල්ල වටා යන විට තම දෑතට සිරියාගේ උණුසුම මහත්තයාට දැනෙන්නට වීය.
“සිරියා.“
“මහත්තයා.“
සිරියාගේ දෙනෙත් කලු මහතාගේ දෙනෙත් එකිනෙකට හමුවන විට මොහොතක් දෙදෙනාම ගොළු වූවෝය.
“ලස්සනයි. මාලේ ලස්සනයි ඔයාට.“
“ඇයි ? මාලේ විතරද ලස්සන?”
“ඔයත්,“ කලු මහතාට තම උගුර හිර විය. තමන් සිතූ පැතූ දේ ගෙදරටම ලැබී අවසානය.
සිරියා දෙමව්පිය කැමැත්තෙන් කලු මහත්තයා සමග පදිංචි වන විට “සිරියාව“ගෙදර දෙගොඩතලා ගොස් අවසන් වී තිබිණ.
ගම්බාර දෙවියන්ට කළ පුජාවට සති හතක් යන්නත් පෙරම ලැබුණු පවුලේ දියුණුව හා හතුරන් මිතුරු වීම ගැන කලු මහත්තයා සිටියේ සතුටිනි.
ගම්බාර පුජාව පවත්වන විට කලු මහත්තයාට බය වූ සිරියාට ලැබුණු වාසනාව ගැන හින්නි අප්පු සිටියේද සතුටිනි.
ගම්බාර දෙවියන් කළ හදිය ද නරක නැත.
By Daya Pratapasingha – Auckland