මහමුදලි තැන දරු සම්පතක් වෙනුවෙන් නොකළ සෙත් සාන්තියක් නැත. ඔහු විවාහ වී අවුරුදු තුනක් පසුවන විටත් පරම්පරාවට අලුතින් දරුවකු නැති වීම ගැන මැණිකේට නිතර දොස් පැවරුවේ වඳ බව කියමිනි. එබැවින් ඇය මහමුදලි ගැන හිත හොඳකින් නොසිටියාය.
කාලයකට පසු මැණිකේ ගැබ්බර වූවාය. මහමුදලිට එදා තරම් සතුටු දිනයක් තිබුණේ නැත. ඉන්පසු දිනෙන් දින මැණිකේට ලෙන්ගතවූ ඔහු මැණිකේගේ හැම කැමැත්තට ඉඩ දුණි. පරම්පරා චාරිත්‍ර අනුව දරු ප්‍රසූතිය සඳහා මැණිකේ මහ ගෙදරට එක්ක ගෙන ගියේ මහමුදලිම විසිනි. මැණිකේ වලව්වේ නැති බැවින් සුමනාට මහමුදලිගේ සාත්තු සප්පායම් කිරීමට අණ ලැබිණ. එය සුමනා ගරුසරුව ඉටු කළාය.
මාස ගණනාවකට පසු කුළුඳුල් පිරිමි දරුවා රැගෙන මැණිකේ එන විට වලව්ව උත්සවයක අසිරියක් ගත්තේය. නමුත් වලව්වේ සාමය සතුට වැඩි කළක් පැවතියේ නැත. සැමියෙකු නොමැතිව සුමනා හදිසියේම ගැබ්බර වීම එයට හේතුව විය. මාපලගම සමරවික්‍රම මහමුදලිතැනගේ හිසට ඉහළින් කාක්කෙක්වත් පියාසර කර නැතැයි පළාතේ පැරණි මිනිසුන් කියති. ඔහු එතරම්ම බලපරාක්‍රමයක් තිබූ ආඩම්බරයෙන් ජීවත් වූ ගම් දහ අටක පාලකයා ය.
*** *** ***
හිරන්ති මැණිකේ රත්නපුර පළාතේ ගැමි පවුලක එකම සුරූපී තරුණියක් වූවාය. ඇය අවුරුදු විස්සක් පමණ වයසින් වැඩි සමරවික්‍රම මහමුදලිට කැමති වෙන්නට සිදු වූයේ තම දෙමව්පියන්ගේ බලකිරීමටය. අක්කර සීයයකට වැඩි වත්තක කාමර පහළොවක් සහිත වලව්වේ පදිංචියට පැමිණි ඇයට සැප සම්පත් අතින් අඩුවක් නොතිබුණි. මහමුදලි තැනට රාජකාරි එමටය. දිසාපතිගේ සිට සියලුම නිලධාරීන් සමග පැවරෙන කටයුතු වෙනුවෙන් භිමිදිරියේ පිටත්වන ඔහු නැවත ගෙදර පැමිණෙන්නේ රාත්‍රී කාලයටය.
කදිරා වලව්වේ සේවය කළ හැඩි දැඩි කීකරු සේවකයෙකි. දිනක් ඇඳිරියේ වලව්ව ඉදිරිපිට ලතෝනියකි. මැණිකේ එබී බලන විට කදිරා පඳුරක් අසල දිවියකු සමග මාරාන්තික පොරයකි. එතැන බිම වැටී ඇත්තේ සුමනාය. ගතවූයේ මොහොතකි. කදිරාගේ ශක්තිමත් මස් ගොබවලට දිවියාගේ බෙල්ල හිර විය. දිවියාගේ පිටට කදිරා යට වී සිටි අතර ඔහුගේ එක් අතක තිබුණු තියුණු පිහිය දිවියාගේ බෙල්ල පසාරු කරන විට අරගලය නිම විය. ඉන්පසු තුවාලවලින් ලේ ගලන කදිරා සුමනා ද දෑතින් ඔසවාගෙන යන එඩිතර විලාශය මැණිකෙගෙ හිතට තදින් කා වැදුණේය.
අඟ පසඟ හොඳින් වැඩුණු රූමත් සුමනාට කදිරා ආදරය කළේය. නමුත් මහමුදලිට ඇති බිය නිසා සුමනා එයට කැමැති නොවූවාය. එදින කළුවර වැටෙන විට සුමනාගේ කෑගහන ශබ්දයට කදිරා දුව එන විටත් දිවියා ගොරවමින් සුමනා වෙත පැනීමට සූදානම්ය. කදිරා ජීවිත පරිත්‍යාගයෙන් දිවියා වෙත පැන්නේ සුමනාට තිබුණු ආදරය නිසාමය. ඊට පසු දිනක මහමුදලි තුමා වලව්වෙන් පිටවීමට පෙර මැණිකේ එකත්පසව ගරුසරුවෙන් ඔහු ආමන්ත්‍රණය කළාය.
“මුදලි තුමා, වලව්ව හැඩි වෙලා හොඳටම. ගැරඬි වහලේ මීයො අල්ලන්න ඊයෙත් බඩ ගෑවා. බයේ බෑ. සුද්ද පවිත්‍ර කරන එක ලේසි නෑ. මොනව හරි නොකළොත් විෂකුරු සත්තුත් වලව්වේ බෝවෙයි.”
“ඔව් ඔව් මැණිකේ, ඔය එකෙකුට කියලා ඒවා කරගන්න. මැණික්…කේ වලව්වෙ වැඩ මට හොයන්න වෙලාවක් නෑ, රාජකාරි එමට.”
“එහෙමයි මුදලි මහත්තයා.”
කදිරාට වලව්වට ඉක්මනින් එන ලෙසට මැණිකේ දැන්වූවාය.
“මැණිකේ ඇතුළට එන්න අවසර,” කදිරා මිදුලේ සිට කෑ ගෑවේය.
“එන්න කදිරා දොර ඇරලා,” කදිරා යටහත් පහත්ව මැණිකේට ඈතින් හිටගත්තේය.
“කදිරා, වලව්වෙ ඇතුළ හොඳටම හැඩි වෙලා. විසකුරු සත්තු වහල පුරා බඩ ගානවා. මාසයක් ගානේ උඹ වලව්ව සුද්ද කරපං. මකුළු දැල් මී ගුලවල් කුණුරොඩු තියෙන කොට තමයි සත්තු බෝවෙන්නේ.”
“එහෙමයි මැණිකේ. හෙටම පටන් ගන්නන්කෝ.”
ඊට පසු දිනම කදිරා ඉනිමගක් තබා වහලේ අහුමුළු සුද්ද කළේ මැණිකෙගේ අණසක යටතේය.
“අම්මේ …මේ ආ…ආයි, ” කියමින් හදිසියේම මැණිකේ ලිස්සා වැටුණාය.
වහලෙන් වැටෙන කුණුරොඩු නිසා සිමෙන්ති බිම හැඩි වූණේ කදිරාගේ වැරැද්දෙනි. මැණිකේ ලිස්සා ගියේ එබැවිණි. කදිරාට තරු පිට විය. මහමුදලි දැන ගත්තොත් විසුමක් නැත. ඉනිමගෙන් පහළට රූටා වැටුණු කදිරා මැණිකේ වෙත ගියේ වෙව්ලමිනි.
” අම්….මේ ….මට නැගිටින්…න …බෑ…ඉක්මනට උස්සපන් මාව…”
වෙව්ලන දෑතින් කදිරා මැණිකේ ඔසවන විට කෙඳිරිගාමින් කදිරාට බරවූ ඇය වේදනාවෙන් වැළපෙමින් කාමරයේ ඇඳ වෙත පියමන් නැගුවේ කදිරාගේ උදව්වෙනි.
“අනේ මැණිකේ මට සමා කරන්න…මහමුදලි දැනගත්තොත් මම දඬු කඳේ ගහයි.”
“උඹේ වැරැද්ද නෙවෙයි, මම නෙව වැටුණේ. මහමුදලි දැන ගන්න වෙන්නෙ මම කිව්වොත් නෙව කදිරා. උඹ මේ සිද්ධිය කාටවත් කියන්න එපා. එච්චරයි. මගේ කකුල දැන් රිදුම අඩුයි. ඒත්,” කියමින් කතාව ගිල ගත්තාය.
මැණිකේ කියන්න හැදූ වදන් කදිරාට නැවත හගිස්සන්නට නොහැකිය. නමුත් මැණිකේ ගැන ඔහුගේ හිතේ තිබුණු බය ටිකෙන් ටික තුරන් විය. රහසක් ලෙස දෙදෙනාම කිසිවකුටත් එම සිද්ධිය හෙලි නොකළෝය. මැණිකේගේ සැලකුම් එන්න එන්නම වැඩිවීමත් සමග කදිරා මැණිකේට තිබුණු ගෞරවය දිනපතා වැඩිවිය. සුමනා ගැබ් ගැනීම ගැන මැණිකේ සැක කළේ කදිරාය. කදිරා ගැන ඇයට අමනාපයක් ඇති වීය. නමුත් එය තම හිතේ නැගූණු ඊර්ෂ්‍යාවක් බව ඇයම දනී. නමුත් කදිරා දස අතේ දිවුරමින් කීවේ තමා අතින් එවැනි වරදක් නොවූ බවය. සුමනාට මෙම හදිය කළේ කවුදැයි දැන ගැනීමට මැණිකේ උත්සාහ ගත්තත් සුමනා කිසි විටක කිසිවක් හෙලි නොකළාය.
දින කීපයක් යන විට නඩුව ඇසුවේ මහමුදලිය. අවසානයේ නඩු තීන්දුව වූයේ කදිරාට සුමනා සමග පවුල් කෑමට නියම කිරීමය. නමුත් තම වත්ත පහළින් අක්කරයක ඉඩම් කෑල්ලක් නව ජෝඩුවට ලියා දීමට මහමුදලි පරිත්‍යාගශීලී විය. එම දරුවාගේ පියා කදිරා නොවන බව මහමුදලි දැන සිටියත් මැණිකේ බිහි කළ දරුවා මහමුදලිගේ නොවන බව ඔහු දැනගෙන සිටියේ නැත.
බඩුයි නඩුයි හාමුදුරුවන්ගෙම බව සුමනා පමණක් දැන ගෙන හිටියා වෙන්නද බැරිය.
By Daya Pratapasingha – Auckland