fbpx
13.3 C
New Zealand
Saturday, May 4, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

නොනගතය නිම කළෙමි | බී.කරසිංහ ආරච්චි

Must read

තම දොරකඩ අහුරා හිටගත් මගේ මිතුරා, අවශ්‍ය නම්, තැඹිලි ගස යට වූ මැටි කළයෙන් වතුර වීදුරුවක් බී ආපසු යන මෙන් මට දන්වා සිටියේය. 

‘ඇයි දවල්ට කෑමට එන්න කියල මට පණිවිඩයක් එවුව නේද?’ මම ඇසුවෙමි.

‘දැන් නොනගත.’ සිනාසුන ඔහු මා සමග එළියට බැස්සේය. මම රඹුක්කන සිට රත්නපුරයට යන්නට ආපිට හැරුණෙමි.

කෑගල්ල, කරඩුපන හංදියේ පළතුරු වෙළ සැලේ කඩහිමියා ඉදිරියට පැන මගේ කාරය නතර කළේ ය. ‘අම්ම කෝල් එකක් දුන්න හනික ගෙදර යන්න කියල ඔක්කෝම බලාගෙන ඉන්නව. දැන් නොනගත.’ ඔහු කීවේය. මොබයිල් ෆෝන් නැති ඒ කාලයේ පණීවිඩ හුවමාරු කළ එක ක්‍රමයක් වූයේ  තැනින් තැනට ටෙලිෆෝන් පණීවිඩ දීමෙනි.

ඒ දසක තුනකට පෙර ය. මෙදා දවසක ඕක්ලන්ඩ්-එප්සම් පුස්තකාලයේ සිට මනුකාවු පාර දිගේ ඇවිද යන මට දෑතින් බර එල්ලාගෙන එන, ඒ කාලයේ සරසවි මිතුරෙකු වූ නයා නන්දන හමු වී ය.

‘වික්‍රම මෙහේ?’ ඔහු මුව අයා දෑස ලොකුකර ගත්තේය. ‘අප්ප-ච්චි-යේ.’

‘ඔව්.’ මම සිනාවෙන් ඔහු පිළිගත්තෙමි. ‘නයා?’

‘අපි?’ ඔහු  සිනවෙන් මුව පුරවා ගත්ත් ය. ‘ඉස්සෙල්ල වෙළිංටන්. දැන් මෙහේ. ආයෙ වත්තටයි මායිමටයි ඇලිල ඉන්නෙ මොටද? වික්ක. ආව.  අපි කිවියො.’ කියූ ඔහු බඩු කවරය බිමින් තැබුවේ ය. ‘අනේ උඹ.’ කියමින් දෑඟිලි ග්‍රහණයකින් මගේ නාසය මිරිකා ඇල්ලූ ඔහු මට කිවිසුම් යන තෙක් එය දකුණට කැරවී ය. ඉතාම කිට්ටු සහෘදයෙකු ඔහු එදා පිළිගත්තේද එසේය. ඒ සහෝදර කම තවම නැති වී නැත.

‘නයා අදත් එදා වගේමයි.’ ඔහුගේ අතට ගසා දැමූ මම කිඹිසුම් වළාවක් යවා කහින්නටද පටන් ගත්තෙමි. ‘ලක්ෂ්මී? දරුවන්?’

‘ලක්ෂ්මී ගෙදර. කොල්ලො දෙන්න හෙට අනිද්දා අපේ අහ එනවා.’

මම බලා සිටියෙමි. ඔහු කතා කරගෙන ගියේ ය. ‘ලොක්කා බැන්දෙ ටැන්සානියන් කෙල්ලක්. ඩොඩෝම වල. කළු බේරුණාට පංකාදු කෙල්ල. නම ලුලු. දෙන්න ඉන්නෙ බ්‍රිස්බේන් වල. පොඩ්ඩ වෙළිංටන්. ලංකාවෙ ඉලත් මෙහේ ඇවිල්ල පෑහුණේ ජැෆ්නා ටැමිල් පවුලකට. වෙල්ලාල හෙම  නං නෙවෙයි. අම්මප.’

‘නෑ?’ මම කෙඳුරුවෙමි. ‘ලක්ෂ්මී? කැමති වුණාද?’

‘ප්-හ්.’ නයා ඉවත බලා ගත්තේ ය. ‘මැරෙන්න බයයි කියල ගෑනි කොච්චියට බෙල්ල තිව්වෙ නෑ. තවත් අනවා. ඒත් අපි ආවෙ එහේ අතෑරල. එහේ විදිහට ඉන්න නං මෙහේ එන්නෙ මොටද කියල අපි ටික ටික හිත හදාගත්ත. ජාතිය, ආගම, කුලය කියන ඒවට එහා ගිය මිණුම් දඬු අපේ රටේ මායිමෙන් මෙහාට එන ළමයින්ට තියෙන්නෙ. උන් හරි. බොරුද මං කියන්නෙ?’

‘එතකොට හදිසියෙ ගෙදර එන්නෙ?’

‘අවුරුද්දට.’

‘මට මතකත් නැති වුණා.’ කී මම මුව අයා බලා සිටියෙමි. නයා යළි කතා කළේ ය.

‘පංසල් පැත්තෙ හෙම යන්නෙ නැද්ද? නෑ මං කියන්නෙ-’ නයා අතුරු ප්‍රශ්නයක් අසා අතර මග නතර කළේ ය.  

‘හැමදාම බෝගහට දාස්පෙතිය මලක්, බුදු පිළිමෙ ළ බත් හැන්දක් තියල තුසිතෙට යන්න හදනව කියල අපේ ළමයි දෙන්න පංසල් යන එක අතෑරියා. අපිත් නිකං හිටියා.’

‘අනෙ!’ නයා මට දමා ගසන්නට මෙන් අත ඉස්සුවේ ය. ‘අපේ මිනිස්සු මෙහේ සුද්දන්ටත් වඩා කිවියො වෙනව. ළමයින්ට මොනවද තේරෙන්නෙ? ශ්‍රද්ධාව වගෙම  ඔය චාරිත්තරත් වටිනව. එතන හැදෙන කොමිනියුටි එක කොච්චර අගේද? මේවයෙ තනි වෙච්ච අපට ඒක ලොකු දෙයක්. අපේ දෙන්නත් දිව්‍යලෝකෙ නං යන්න අදහසක් නෑ. ඒත් ඔය කොමිනියුටි එකට කැමතියි. ඔටාහුහු පංසලේ අවුරුදු චාරිත්‍ර ටික නොම්මර එකට කරනව. අපි පවුල් තුනම ඒ වෙනුවෙන් පංසල් යනව. ඊට පස්සෙ එකට අවුරුදු කනව. මේ  සිංහල අවුරුද්ද ගන්න තුන්වැනි වතාව.’

‘අපි දෙන්න වෙනද වගේමයි. ගෙදරට කොටුවෙලා.’ මට කියවිණ.

න්-නෑ? ළමයි?’නයා නැවත ඇසුවේ ය.

මම ඉවත බලා ගත්තෙමි.

‘ඇයි ප්‍රශ්නයක්ද?’

‘දුව දන්නව නෙව? එදා ඉලම එක විදිහක්. එංගලන්තෙන් ආපු සුද්දෙක් බැල ටැස්මේනියාවට ගියා. පුතා ඉන්දියන් කෙල්ලෙක් බැගෙන ඕන් නේපියර් වල.’

‘ඉතිං?’

‘එකෙක් වත් අපට ගැලපෙන්නෙ නෑ. අපි තනියම කාලෙ ගෙවනව.’

‘අපිත් ඔහොම හිතුව මුලදි. ඒ අය මොටද අපට ගැලපෙන අය බඳින්නෙ. ළමයින් අතින් වැරදිත්  වෙනවා. පස්සෙ හදා ගන්නවා. එන්න කියන්න දෙන්නටම අවුරුද්දට.’

‘දැන්?’

‘එහෙනං? ටැස්මේනියාවයි නේපියයි උත්තරධ්‍රැවයෙ නෙවෙයි නෙව. ඔන්න බලන්න. නිවාඩු අනං මනං කොහේද කියල නෑ කොල්ලයි කෙල්ලයි එන්නෙ ඉගිල්ලිලා. ළමයි එහෙමයි. අම්මප!’ නයා මගේ පිට හරහා වේගවත් පාරක් ගසා කොක්හලා සිනාසුණේ ය. 

‘අප්පෝ උඹ එදා වගෙම වසවර්තිය.’ මම උරසිස අතගාගත්තෙමි. ‘අපේ මොනවත් සූදානමක් නෑ නෙව.’

‘සූදානමක්? ලෝකෙ හැම වේලෙම සූදානම්. අපි කිරිබත්, හත්මාලුව, පංචි දැමිල්ල, රබං ගැහිල්ල මෙහේ තියන විදිහට මොඩ් කරල ගන්නව. එරබදු වෙනුවට කොච්චර ලස්සණ දලු මල් දාන ගස් තියනවද? පලතුරු ගස් කොච්චරක් මෙහේ තියනවද? වෙන? ආයෙ ඉංදියන් සාගරේ උඩින් ඇවිල්ල කොහෙක්ම කෑ ගහන්න ඕනැ නෑ. ගනුදෙනු කරන්න ළිඳක්, කපන්න කිරි ගහක් වැඩ අල්ලන්න රස්සාවක් නෑ කියමු. පුළුවන් ටික කරනව. අවුරුද්දට දවසක්වත් කට්ටිය එක්කාසු වුණා නං ඒක තමයි අවුරුද්ද. නැද්ද මං කියන්නෙ? වික්‍රමට කියන්න ලුලුගෙන් බේරෙන්න බෑ  හැමදාම  සිංහල අවුරුද්දට අපි බලන්න එනව කියල. ඒ් අප්‍රිකාවෙ කෙල්ලක්. මදිද මං අහන්නෙ?’

‘ඇත්ත.’ මම හිස සලා එකඟ වීමි.

‘වෙලාවක අපේ ගෙවල් පැත්තෙ ඔක්කෝම එන්න ඕනැ. අනිද්ද ඇර.’

‘ඇයි අනිද්ද?’

‘නොනගතට අහු වුණොත්?’ ඔහු දෑහිබැම එක්කර ගත්තේ ය. ‘මෝඩයා.’ නැවත සිනාසුණේ ය. ‘ආපිට යවනව ඇල්වතුරත් එළියෙ පයිප්පෙන්.’

සමුදීමද  පිළිගැණීම් සත්කාරයද මෙන් කරන්නට පෙර මම ඔහුගෙන් ගිලිහී ඉදිරියට පා නැගුවෙමි.

කෝන්ව-ර්-ල්ඩ් පාක්හි රූස්ස පොහොටුකාවා ගස් අතරින්, ඉදී ගිය රබර් කොළ පැහැගත් රතු ජැපනීස් මාපල් පඳුරු තැන තැන පේන්නට තිබුණේ ය. ග්‍රීන්ලේන් රෝහලට යන ක්ලෝඩ් පාරේ වැඩිහිටි නිවාසයේ ගෙවත්ත වීපින් මාපල් කොළවල රතින් පුරවා තිබුණේය. කිං ජෝර්ජ් ඇවනිව් නිවෙස් අවට පැසිපික් රෝස් හා කහපාට පා-සිමෝන්  පලබරට අතු නැමී ඇති සැටි පෙනුණේ ය. ටුයි හා කුකෝ කුරුල්ලෝ එප්සම් ප්‍රාථමික පාසල් වත්තේ ඇති චෙරිබෙලාස්ම්ස් ගස් වල අත්තතෙන් අත්තට පනිමින් සිටියහ.

සියල්ලම අවරුද්දට සූදානම් වී තිබුණි. මම පළමුව ටැස්මේනියා අංකයට කතා කළෙමි. එදා අම්මා මට කතා කරන්නට ඇත්තේද, නොනගතය ඒ ආකාරයෙන්ම නිමකරන්න වියහැක.

By B. Karasinghe Arachchi

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.