පසුදා පාලිතගේ කාර්‍යාලයට දුරකතනයෙන් ඇමතුමක් ගත් කාංචනාගේ තාත්තා පාලිතට දොස් කියා තම දියණිය ගැන බලාපොරොත්තු තියා නොගන්නා මෙන් බැන්නේය. තමාව කාර්‍යාලයට ගෙන්න නොගන්නා මෙන්ද රටේ යන යන තැන ගෑණු තියා ගන්නා රජයේ උසස් නිලධාරින් තම දුවට අවශ්‍ය නැතැයිද කීවේය.
පාලිත දැඩි කණස්සල්ලට පත් විය. කාංචනාගේ තාත්තා තමාව තේරුම් නොගත්තාට වඩා හිතට අමාරු මුලු රාජ්‍ය සේවයටම නිගරු වනසේ කතා කිරීමය. ඔහු කතා කරන්නේ වැඩියක්ම දේශපාලන කෝණයකින් බලා බව පාලිතට සිතෙයි. ඔහු කාංචනාට කතා කළේය.
‘වැඩක් නෑ පාලිත. අපේ තාත්තාව නම්ම ගන්න හරි අමාරුයි. අපි මොකද කරන්නේ? ඔයාට බලාපොරොත්තු දුන්නට මට සමාවෙන්න පාලිත. මේකෙන් වෙන්නේ ඔයාට කරදරයක්. ඒත් ඔයා කියන දේකට මං කැමතියි.’ කාංචනා හඬමින් කීවාය. මෙවැනි අවස්ථාවක කුමක් කළ යුතු දැයි ඔහුට නොතේරේ. කිසිවකුට තමන්ගේ ප්‍රශ්න කියා කරදර කරන්නට පාලිත කැමති නැත. හොඳම දේ ටික දවසක් මෙය අමතක කරන එකය. ඉන් පසුවවත් තත්ත්වය යහපත් වුණොත් කාංචනා බැලීමට යමි. එසේ තීරණයක් ගත් පාලිත පසු දිනම කාර්‍යාලයෙන් සතියක් නිවාඩු ගෙන ගමේ ගියේය. පාලිත යම් දැඩි තීරණයක් ගනී කියා කාංචනා බලාපොරොත්තු වුණත් එසේ වුණේ නැත. ඔහු එසේ නොකරන බව ඇය දනී. ඇය සිටියේ දුකෙනි. දෙගිඩියාවෙනි. පාලිත සමඟත් කේන්තියෙනි.
ගමේ ගොස් සිටිද්දී ඔහුගේ වෙනස පවුලේ සියලු දෙනාට තේරුණි. ඔහු කාංචනා ගැන කියා තිබූ නිසා ඔහුට පාඩුවේ ඉන්නට සියල්ලෝම ඉඩ හැරියහ. නිවාඩුව ඉවර වූ පසු තව දින තුනක් නිවාඩු ගත් පාලිත අම්පාරේ ඇවිදීමට ගොස් පැරණි මිතුරන් මුණ ගැසිනි. පරණ නවාතැනට ගොස් ගෙදර අය සමඟ කතා බහ කර විනෝද විය. දින දෙකක් එහි ගත කළ පාලිත නැවත ගමේ ඇවිත් පසුදාම බණ්ඩාරවෙල ගියේය. ඔහුගේ මනස සැහැල්ලු වී තිබුණි. කුමන හෝ තීරණයකට මුහුණ දීමට ඔහු සූදානමින් සිටියේය.
කාර්‍යාලයේ ඔහුගේ මේසය මත ලියුමකි. මීට දින තුනකට පෙර දාතමින් ලියැවුනු එය කියවූ ඔහුට තද දුකක් හිතට දැනුනේ ඉතා කෙටි වේලාවකටය. ඉක්මනින්ම එය පහන් සංවේගයක් බවට පත්වුණි.
‘පාලිත,
මං සුමේධව හෙට කසාද බඳිනවා. මං ඔයාව හෙව්වා. ඔයා ගෙදර ගිය බව කිව්වා. දුක් වෙන්න එපා. මට සමාවෙන්න. මං සතුටෙන්. ඔයා ගැන මතකය මට ඉතුරු වේවි. ඔයාටත් මාව මතක තියෙයි කියලා හිතනවා. මට කියා දුන් බොහෝ දේවලට ඔයාට පින්.ඔයත් ඉක්මනින්ම කසාද බඳින්න. ඔයාට හොඳක්ම වෙන්න ඕනා.
තෙරුවන් සරණයි !
කාංචනා .
ලියුම කියවා පාලිත දිග සුසුමක් පිට කළේය. පාලිතගේ සිත සැහැල්ලුය. ඔහු සුපුරුදු ලෙස රාජකාරි කටයුතු කරන්න පටන් ගත්තේය. තව අවුරුද්දක් පමණ කාලයක් ඔහු බණ්ඩාරවෙල රැඳී සිටියේය. ඒ අවුරුද්ද තුළ ඔහු දෙවරක් කාංචනාව දැක්කේය. එක් වරක් ඇය සුමේධ සමඟ ටවුමේ සාප්පු ඇවිත් සිටිද්දීය. ඔහු ඈතින් සිට ඇයව දැක්කේය. අන්තිම වර රාජකාරි කටයුත්තකට ඇයගේ ගෙවල් පිහිටි පාරේ යන විටය. වාහනේ ඉදිරිපස අසුනේ වාඩි වී සිටි ඔහුට ඇය දෙස බැලුනේ ඉබේටමය. ඇය සිටියේ අත දරුවකු නලවමින් මිදුලේ ඇවිදිමින් ය . එක් නිමේෂයක ඔවුන්ගේ දෑස් පැටලුනි. මඳ සිනාවක් ඇයගේ මුවගේ ඇඳී යද්දී වාහනය වේගය වැඩි කර ගියේය. නැවත එන විට එදෙස බැලුවත් කිසිවකු පෙනෙන්නට සිටියේ නැත. ඔහු සිතා සිටියේ ඇය සිටියා නම් ඇය හා කතාබහ කර යන්නටය. නමුත් වාහනයෙන් බැස ගේ තුළට යන්නට තරම් හිතට හයියක්, ඕනෑකමක් නොතිබුණි. පාලිතගේ සිතේ ඇති වුණේ සතුටකි. අස්වැසිල්ලකි.
අවුරුද්ද අවසානයේ ඔහුට මාරුවීමක් ලැබුණි. මෙවර පොළොන්නරුවටය. ඒ නියෝජ්‍ය ප්‍රාදේශීය ලේකම් ලෙසය. උසස් වීම ලැබුනේ හිතුවාට පෙරය. පාලිත තවත් මහන්සි වී වැඩ කළේය. රැකියාවට කැප වුණේය. පෙර පුරුදු විදියටම ස්කූටරයෙන් ගම වටේ ඇවිදියි. අස්සක් මුල්ලක් නෑර පුරා වස්තු බැලීමට ගියේය. වැව් අමුණු ගැන සොයා බැලුවේය. කැලෑ තුළ ඇවිද ගියේය. හැකි සෑම විටම ඔහුගේ සේවය සොයා එන මිනිසුන්ගේ ප්‍රශ්න විසඳුවේය. පොත් පත් කියෙව්වේය. සටහන් තැබුවේය. එම සටහන් පාදක කර ගනිමින් ගවේෂණාත්මක පොතක් ලිවීමට පටන් ගත්තේ එම කාලය තුළදීමය. රාජ්‍ය පරිපාලනය ගැන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද අවසන් කළේය. මාසයකට දෙවරක් ගමේ ගොස් දෙමව්පියන් සහ පවුලේ අය සමඟ විනෝද විය.
පොළොන්නරුවට ගොස් අවුරුදු තුනක් ගිය තැන ඔහු තමන්ට විවාහ යෝජනාවක් සොයන්නට දෙමව්පියන්ට කැමැත්ත දුන්නේය. ඔහු කාංචනා ගැන ඔවුන්ට කියා තිබූ නිසා මෙතෙක් කල් ඔවුන් පාලිතට කරදර නොකළේ ඔහුගේ සිත රිදෙයි කියාය. පාලිතගේ සිත ගත් තරුණියක් ඔහුට මුණගැසුනේ නැත. දෙමව්පියන් ගෙනා යෝජනා දෙකකට පසු තුන්වන එක ඔහුට හිතට ඇල්ලුවේය. ඇය ධනවත් පවුලක කෙල්ලකි. නමුත් පාලිතගේ සිත ගියේ ඇයගේ කෙලිලොල් බවටය. ඒ කෙලිලොල් බව ඔවුන් විවාහ වී ඉතා ඉක්මනින් ඇයගෙන් පහව ගියේය. නැත්නම් ඔහු හින්දා ඇය වෙනස් වුණා ද කියා කිව නොහැක. කෙසේ නමුත් දරුවකු ලැබූ පසු සියල්ල ටිකින් ටික වෙනස් විය. ඔහු ජීවත් වන්නේ එතරම් සතුටකින් නොවේ. ඇය ද එසේය. නමුත් ඔවුන් සමඟියෙන් පවුල් කන්නේ ඔවුන් දෙදෙනාම රණ්ඩු සරුවල් වෙන්න කැමති නැති බැවිනි.
පාලිතගේ බිරිඳ කාලය ගත වෙද්දී ඔහුට එතරම් ගරුසරුවක් නොපෙන්නුවාය. ඔවුන් ජීවත්වන්නේ ඇයට දෑවැද්දට ලැබූ කොළඹ ගෙදරය. පාලිත දැන් කොළඹ පිහිටි අමාත්‍යාංශයක ස්ථිර ලේකම් ය. ඔහු ගැන පුවතක් සතියකට වරක්වත් රූපවාහිනියේ වැටෙයි. ඔහු සමඟ කළ පිළිසඳරක් පුවත්පතක පළවෙයි. ඔහු සහභාගි වෙන සම්මන්ත්‍රණ, විවෘත කිරීම්, උත්සව යනාදිය බොහෝය. රජයේ සංවර්ධන ක්‍රියාවලියේ ඉදිරියෙන්ම සිටින නියමුවෙකි, පාලිත කුඩාවැල්ල. බිරිඳ සහ ඇයගේ දෙමව්පියෝ, නෑදෑයෝ ඔහු ගැන ආඩම්බරෙන් අනුන් සමඟ කතා කරතත්, එම නම්බුව හෝ වැදගත්කම ඔහුගේ මූණට නම් නොපෙන්වති. පාලිත මේ දේවලට සැලෙන්නේ නැත. සමාජය ගැන හොඳ වැටහීමක් ඇති ඔහුට මිනිස් සිතේ ස්වාභාවය නුවණින් වැටහේ.
‘මොනවද පාලිත ඔයා එදා ඉන්ටවීව් එකේදි කියෙව්වෙ ? බහුබූතනේ’ බිරිඳ කට ඇද කර කියයි.
‘ඇයි? මොනවද මං කියපු වැරදි දේ ?’ පාලිත සිනාසෙමින් අසයි.
‘හහ්.. වැරදි ? ඒ කියපු දේවල් ඔයාලා කරනවද ? නිකන් පච.’
~ නෙත්මිණි ගේ පැමිණීම තවත් ඉසව්වකට ඊ ළඟ කලාපයේ ~
By Pantaka Bhatiya Siriwardhana – Sri Lanka