වසර තිස් හතරක් පුරා නාවිකයෙකු ලෙසින් ලද අත්දැකීම් එකතු කර ජයසිරි ප්‍රනාන්දු මහතා ලියූ ‘මහා සයුරේ බිහිසුණු චාරිකා’ පොතේ එන කතාංග මෙවර කලාපයේ සිට ඔබටද කියවිය හැක. මෙම කතාංග ශ්‍රී ලංකාවේ අරුණ පුවත්පතේ ද පළවී ඇත.
මේ සිද්ධිය වන විට මා සේවය කළේ ජර්මන් නැව් සමාගමකය. නැවේ නම සෙන්චූරස්. මේ නැව අතිවිශාල නැවක්. කන්ටේනර් ගෙනියන නැවක්. අපි ආවේ එංගලන්තයේ Felixstowe වරායේ සිට සූවස් ඇළ හරහා ඇවිත්, පාකිස්තානයේ කරච්චි වරායට ඇවිත් ඉන්පසු ඉන්දියාවේ බොම්බේ වරායට ඇවිත් ලංකාවේ කොළඹ වරායට එන්නයි නියමිතව තිබුණේ.
මේ සිද්ධිය සිදු වුණේ 1988 මාර්තු මාසයේ. අපි පාකිස්තානයේ කරච්චි නගරයට ආවේ උදේ නමයට විතර. ඊට පසුදා රාත්‍රී හතට අපිට කරච්චි වරායෙන් පිටත් වීමට නියමිතව තිබුණා. පාකිස්තානයේ දී ගොඩබෑමට නියමිත කන්ටේනර්ස් ගොඩබා කොළඹට ගෙන යන කන්ටේනර්ස් පවා අවසන් කර තිබුණේ. හරියටම රාත්‍රිය හතට අපේ නැව පාකිස්තානයේ කරච්චි වරායෙන් එළියට ආවා. ඒ වෙලාවේ මහ මුහුද නිශ්චලව පැවතුණා. මම මගේ කාමරයට වෙලා පත්තරයක් බලමින් සිටියා. ලංකාවේ ජනප්‍රිය බයිලා ගායකයෙකුව සිටි ඇන්ටන් ජෝන්ස්ගේ පුතා ටිරෝන් ජෝන්ස් තමයි මගේ එහා කාමරයේ සිටියේ.
ඔහු කලබලයෙක් මගේ කාමරයට ආවේය. ‘මචන් නැවේ ඔක්කොම අයට ජීවිත ආරක්ෂිත කබා ඇඳගෙන නැවේ පාලක මැදිරියට ඉක්මනට එන්න කිව්වා,’ කියමින් ඔහු ඊළඟ කාමරය වෙත දිව්වේය. මට ඔහුගෙන් මේ කිසිම විස්තරයක් දැන ගැනීමට බැරි විය. මම (නැවකදි හදිසි අවස්ථාවකට අඳින ජීවිත ආරක්ෂා ඇඳුම් හැඳ) කාමරයෙන් යාමට පෙර මගේ කැබින් එකේ ජනේලයෙන් මුහුද දිහා බැලුවෙමි.

මා දුටු දර්ශනයෙන් කුමන හෝ විපතක් අත ළඟ බව මට දැනුණි. මා දුටුවේ මහ මුහුදේ ජලය බුබුළු දමමින් උණු වතුර මෙන් උතුරමින් ද පැහැයෙන් ඉතා දීප්තිමත්ව ඇස් දෙකෙන් එක දිගට බලා සිටීමට බැරි තරම් තද එළියක් දෙන බවයි. ඒ දර්ශනයෙන් මගේ ඇස් අන්ධකාර වී ගියේය. මා පාලක මැදිරියට යන විට නැවේ කාර්ය මණ්ඩලයෙන් වැඩි පිරිසක් එහි පැමිණ සිටියොය. රාත්‍රියේදී නැව් ගමන් කරන විට පාලන මැදිරිය අඳුරුය එසේ පාලන මැදිරිය අඳුරේ තබන්නේ මුහුදේ අවට යන නැව් පැහැදිලිව දැක ගැනීමටය. මම පිරිස ඈත් මෑත් කරමින් නැවේ ඉදිරිය පෙනෙන ලොකු වීදුරුව අසලට ගියෙමි.
මා දුටු දර්ශනයෙන් ඇඟ සීතල වී ගියේය. නැව වේගයෙන් වතුර දෙබෑ කරගෙන ඉදිරියට යාත්‍රා කරයි. පේන තෙක් මානයේ මුළු මුහුදම දිය බුබුළු නගමින් රිදී පාටින් දිලිසෙමින් තිබුණි මර්කරි බල්බයකට වඩා තද දීප්තිමත් රිදී පාටකි. එක දිගට මුහුද දිහා බලා සිටීමට නොහැකිය. ඇස් අන්ධ කාරකරයි. ඊටත් වඩා පුදුමය නැවේ ඉදිරි කොටස (Foxtel Bow) මුහුදින් යටට ගොසින්ය. නැව දැන් මුහුද ඇතුළට යයි.. දැන් යයි.. දැන් යයි.. කියා සිතෙයි.
කාටත් නොදැනෙන ලෙස මම නැවේ තට්ටු කිහිපයක් පහළට දිව ආවෙමි. යකඩ දොරක් හැර (Water Tide Door) එළියේ ඇති නැව් වඳ උඩටම ගොස් මුහුද දිහා බැලුවෙමි. මුහුදු වතුරෙන් මහා ශබ්දයක් නැගෙයි. හරියටම කේතලයක වතුර උතුරන විට නැගෙන ශබ්දයට සමානය. මුහුදු වතුරෙන් දිය බුබුළු දමමින් දුම් පිට වෙයි. මගේ ඇඟට දැනෙන තරමට අධික උණුසුමක් දැනෙයි. මම යකඩ දොර වසා නැවත පාලන මැදිරියට දිව්වෙමි.

මේ නැවේ කපිතාන්වරයා ජර්මානු ජාතික කැප්ටන් ග්‍රෝට් මහතාය. ඉතා උස, මහත, ශක්ති සම්පන්න පුරුෂයෙකි. ඔහු කිසිම කතාවක් නොමැතිව පුදුමයෙන් නැවේ ඉදිරිය බලා සිටි. “Oh! Jesus Christ, this is the first time I see this scene in my sea life,” කියා ඔහු කුරුසියේ ලකුණ නළලේ ලකුණු කරමින් සිය පුත්‍රයා ඩදා ගත්තේය. ඒ අපේ නැවේ ජර්මන් ජාතික ප්‍රධාන නිලධාරියෙකු වූ සැන්හැමර් මහතාය. ඔහුගේ හැඩරුව බටහිර චිත්‍රපට නළු චාල්ස් බ්‍රොන්සන්ට සමානය.
කළුවරේම මිනිසුන් කෑ ගසන හඬ, දෙවියන්ට නැව ආරක්ෂා කර දෙන මෙන් හිමින් මුමුණන හඬ ඇසෙන්නට විය. මේ අතර නැවේ Radio Officer වැදගත් කාර්යභාරයක් කළේය. ඔහු නැවට වී ඇති ඇබැද්දිය ලෝකයේ දැන් විය යුතු තැන් සියල්ලටම දන්වා යැවීය. මුහුදෙදී අද්භූත යමක් දුටුවොත් වහාම දැන්විය යුතු මධ්‍යස්ථානයක් එංගලන්තයේ වෙයි. එතනින් ඔහුට වහාම පිළිතුරක් ලැබුණි. සැටලයිට් මාර්ගයෙන් අපේ නැව හා සම්බන්ධ වුණු එම ආයතනය නැවේ ගමන් මාර්ගය වෙනස් කර නැවට යා හැකි උපරිම වේගයෙන් යන ලෙසට වහා උපදෙස් දුන්නේය.
මෙතෙක් ආ වේගයට වැඩි, Emergence Speed වේගයෙන් නැව ධාවනය කරවීය. මුළු නැවම දෙදරන්නට පටන් ගත්තේය. එනමුත් එම අධි-වේගයෙන්ම එය ඉදිරියට ගියේය. තවත් විනාඩි 40ක් ගිය තැන දී මුහුද වෙනස් විය. මුහුදේ රිදී පාට වර්ණය ටිකෙන් ටික අඩුවී ගියේය. මුහුදේ යටට ගොස් තිබූ නැවේ ඉදිරි කොටස ටිකෙන් ටික උඩට ආවේය.

මෙතෙක් ලොව නන් දෙසින් නැවත ලැබුණු උපදෙස් හා විමසීම්වලින් අපේ නැවට සිදුවූ දෙය දැනගන්නට ලැබිණි. අපේ නැව ගමන් කරමින් තිබී ඇත්තේ ගැඹුරු මුහුදේ පතුලේ ගිනි කන්දක් පුපුරා එය සක්‍රීය වූ අවස්ථාවේදීය. අපේ නැව බේරුනේ ඒ විශාල නිසත් ඉතා වේගයෙන් යාත්‍රා කළ නිසාත්ය. යම් විදියකින් නැව නතර වූවානම් අපට ගැලවීමක් නැත. එය මුහුදු පතුලට ඇදී යනවා ඇත. මේ වන විට ඒ අවට මුහුදේ තිබූ ධීවරයාත්‍රා නවයක් අතුරුදහන්ව ඇති බවද දැනගන්නට ලැබිණි. දින කිහිපයකට පසුව අපි ඉන්දියාවේ බොම්බේ වරායට ගියෙමු. එහිදී අපේ නැවට වූ ඇබැද්දිය අපටත් වඩා හොඳට ඉන්දීය ජාතිකයෝ දැනගෙන සිටියහ. ඒ පත්තරවලින් හා ගුවන් විදුලියේ ප්‍රචාරයන් නිසාය. ඊටත් දින කිහිපයකට පසුව අපි ලංකාවේ කොළඹ වරායට ආවෙමු. ලංකාවේද එම සිද්ධිය ප්‍රවෘත්තිවලට කියා කියූ බවත් පුවත්පත්වල එම සිද්ධිය පළ වූ බවත් දැනගන්නට ලැබිණි.
මුහුදෙදී සිදුවන මෙවැනි සිදුවීම් ගැන දවසේ පැය 24 ම නිරීක්ෂණය කරන එංගලන්තයේ ‘මුහුදු මාර්ග ආයතනය’ අපේ නැවට දන්වා සිටියේ මෙවැනි සිදුවීම් ඉතාමත් කලාතුරකින් සිදුවන බව. එයට මුහුණ දුන් අප යාත්‍රාව හා නාවික කාර්ය මණ්ඩලය ජීවිත බේරා ගැනීම ගැන ඔවුන් ඉතාමත් සතුටට පත්වන බවයි.
ජයසිරි ප්‍රනාන්දු – ශ්‍රි ලංකාව







