fbpx
11.6 C
New Zealand
Sunday, November 22, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

“අමර + සේකර + මහ ගම නොවේ” ඒ මුණිවර කවියා සේකර නම් වේ | වජිර ජයවර්ධන | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

“අමර” යන යෙදුම හෙලයේ මාහා ගාන්ධර්වී නාමය වුවත්, එහි නිසි අරුත වන්නේ අමරණීය බවයි. මිනිසා සජීව වන්නේ ඇස, කණ්, නාසය, දිව , ශරීරය සහ මනස මූලික වූ සලායතන මගිනි. කය නිරුද්ධ වී විඤ්ඤාණය චාරිකාවේ යෙදෙන සසර යනු බෞද්ධ ඉගැන්වීමකි. සසර මග කෙටි කරගත හැකි වන්නේ අවබෝධයට ළං වූ විටයි. ආර්‍ය මාර්ගයේ ගමන් කරන උතුමන් මුණිවරු ලෙස හදුන්වන්නේ ඒ නිසාය. මගහමසේකර යනු අමරණීය චරිතයකි. එය අවිවාදිතය. නිසල කය මිහිදන් කොට, මනස වෙහෙසා ලොවට දායාද කළ අමරණීය වූ  නිර්මාණ රැසක් ඉතිරි කර විඤ්ඤාණය මතු සසරට රැගෙන ඔහු කෙටි කලකින් නික්ම ගියේය. ඔහු මුණිවර චින්තාවෙන් කවි සිත් කැලබූ අසම සම මිනිසෙකි.

ඔහුගේ කවි මගේ කූට ප්‍රාප්තිය වන්නේ ප්‍රබුද්ධ කාව්‍යයයි. ජීවිතයේ නියත නොවන බව දාර්ශනිකව පසක් කළ උත්තම මුනිවරයෙකුගේ සිතුවිලි චින්තාවක් ලෙස එය බලගැන්වෙන්නේ අහම්බෙන් නොවේ.  දීර්ඝ කාලයක් තිස්සේ අත්දැකීම් සමග  නෙලාගත් සංකල්පනා පුපුරා යවමින් එතුලින් ” මහගමසේකර” නම් ඔහු  කඳු මුඳුනක සිට පහළ බලනා බව මනාප අපිට පසක් කරයි.

“ධර්මය වටහා ගත හැකි,
සත්‍යය සුන්දර බව දැක ගත හැකි
උත්තර සමාජයක් ගොඩ නැගීමේ මුල් පියවර
කැමෙන් බීමෙන්
ඇඳුමෙන්
ගෙයින් දොරින්
තෘප්තිමත් ලොවක් තැනීමය
ඒ සඳහා මම නවතිමි
නැවතීමමය ගමන
සංසාරය නිවන”
(ප්‍රබුද්ධ)

කවියා සතු නිර්මාන අහංකාරය බිඳ දමා, මිනිස් ප්‍රජාවේ සාමූහික විමුක්තිය සඳහා කවියා ද වෙහෙසෙන බව ඔහු අපිට එතුළින් මනාව පැහැදිලි කරන්නේය. අපි සේකර කවියේ වෙනත් පැහැයන් වෙත ගමන් කළොත් මුල් කාලයේ ඔහු සාමාන්‍ය කවියන් අනුව යමින් ප්‍රේමය මතම දැවටෙන්නේය. අහිමි වුණ ආශාවේ නොනිමි බව වෙනුවෙන් සෝකයම වපුරන්නේය.

“නොගිය නුපුරුදු අලුත් මංවල
අලුත් රස සොය සොයා යන්නට
නුදුටු තැන්වල මිහිර දකිමින්
නොකී ගී පද රස විඳින්නට

කුරුල්ලෙකු මෙන් අහස් තලයේ
වළාකුළු මැද සැරිසරන්නට
රැගෙන යනු මැන මේ ලොවින් මා
ඔබේ පියකරු සිහින ලෝකෙට”

කවියාට අහිමි වුන ප්‍රේම ලෝකය ඉහත වචනවලට සෘජුවම නොගෙනාවත්, සෙසු කවි අධ්‍යනය කරන විට ඔහුට අහිමිව ඇත්තේ කුමක්දැයි මනාව පැහැදිලි වෙයි.

“අපට පමණක් ඇරුණු වෙන යම්
ලොවක් මෙලොවම පහළ වෙන්නේ
අනෙක් කිසිවෙක් නොමැත තනි අප
දෙදෙන පමණයි එහි වෙසෙන්නේ”

කවියාට තම කල්පිත පෙම්වතිය සමග තනිවීමට පමණක් නොඉල්ලා පවතින ලෝකයේ කුහකත්වයෙන් පලායන්නට ආශාවද පසක් කරන කවි මේ කවි අතරම හමුවෙයි. එම නිසා “සේකර” යනු නිර්මාණ ලෝකයේ ඇවිද ලෝකයේ තාවකාලික සතුට සහ ඇත්ත වෙනුවට සදාකාලික ඇත්තක් හොයමින් සැරිසැරූවෙකු බව සරු ලෙසම පැහැදිලිය.

එය එසේ වුවද ” සේකර” නම් කවියා තුළ සිටින ප්‍රේමවන්තයා සහ ගැමියා අපිට අමතක කළ නොහැකිය.

“ඈත අහසේ දිලෙන
තාරකාවක් ලෙසට
ඈත මුහුදේ පෙනෙන
සිතිජයේ ඉම ලෙසට
කිසි කලෙක කිසිවෙකුට
ළගාවිය නොහැකි වන
කිසිකලෙක කිසිවෙකුට
ලබාගත නොහැකි වන
මිරිඟු මුහුදින් එපිට
සිහින ලොව වසන මම
සිහිනයක් සේ ආමි
ඔබට ඇල්මක් නැතිද?

මම ඔබට ආදරෙයි
මම ඔබට ආදරෙයි
මෙතෙක් කල් මා සෙවු
එකම ගැහැණිය ඔබයි
සදාකල් පෙම් කලැකි
එකම ගැහැණිය ඔබයි”

ප්‍රේමය සහ මායාව නැණවත්ව, පැණවත්ව සොයාගන්නට ඔහු කවිය තුළින්ම වෙහෙස වූ අයුරු අපි සැමට එකවි අතරේම ඔහු පැහැදිලි කර දෙන අයුරු අපූරුය, එනම් අපි පෙර දැක නැත.

නිදහස් කවියේ ගමන් රටාවට වඩාත් නැඹුරු වූව ද සිව්පද ආකෘතිය ද අවශ්‍ය වූ විට මෙල්ල කරගැමීමට ඔහු ගජ සමතෙකි. නිහදස් කවි ආර පහසු නොවූවත් එළිසමය, එළිවැට, රිද්ම ගුණය, මාත්‍රාමය දැනුවත්කම වැනි පොහොසත් කවි විනය සිව්පද ආකෘතිය ඔපවත් කරයි. සේකරගේ එම හැකියාව සොයා ගත හැකි තැන් බොහෝය.

රන් එළියට හැන්දෑවේ මුදු කෙහෙ දිලිහෙන්  නේ
රන් ගෝමර පෙති ඉහිලා ළමැද බබුලුවන්     නේ
රන් පාටට එකතු වෙලා අදුර ගලා එන්         නේ
කින් ද පාලු කුඹුරේ තව තනියම පසුවන්      නේ

එමෙන්ම බෝඩිම කවි එකතුවේ එන ” ආයාචනය” කවිය ද උස් සලකුණකි.

උගත් කමක් ඇත ඉහ මොළ පුපුරන්    ඩ
අතක් පයක් ඇත සවිබල උතුරන්        ඩ
හිතක් නොමැත නරකින් ජීවත් වන්     ඩ
මහත්වරුණි මට රස්සාවක් දෙන්         ඩ

උත්ප්‍රාසය තුළින් කවියෙකුට යා හැකි දුර අලංකාර ලෙස ඔහු එතුළින් අපිට පෙන්වයි.

ඒ රන් එතනාට කියන කවි පෙළේ අවසන් කවියකි. එමෙන්මන්” මරණය” නම් පැදි පෙළ ඒ අතර තවත් ප්‍රබල සලකුණකි.

කපා වලක් යන පාරේ වසන්                    නේ
උපා නොයෙක් මරු වැල් බැඳ තබන්          නේ
දෙපා වලේ පැටලී ඇද වැටෙන්                  නේ
දපා වලේ පැටලී ඇද වැටෙන්                    නේ

වලේ වැටුන කහල නැත ගොඩ අදින්          නේ
කුලේ සැවොම වල වටකර නටන්              නේ
වලේ දමා පස් තද කර අඬන්                    නේ
මලේ එවිට හිනැහෙන්නට වරෙන්              නේ

නොකා නොබී වස්තුව සරි කරන්               නේ
සදා කල්ම ලොව ඉන්නයි බලන්                  නේ
හොරා වගේ උඹ විත් අත වනන්                 නේ
එදා තමයි කාගෙත් ඇහැ  ඇරෙන්               නේ

ඔහු පාඨකයාට පවසන්නේ මගේ කවියෙන් මා නොසොයන් කියාය. ඔහුගේ ඉල්ලීම ඒ කවියෙන් හෑකිතාක් කියවන අපිවම දකින්න බල කර සිටීමටයි. එය මුණිවර කවි මගේ උත්තර සළකුණකි. ඔහුගේ කවියෙන් බොහෝ විට ඔහුව පෙනෙන තැන්වල ජීවිතය විනිවිඳ දැකි මහා මිනිසෙකුගේ සෙවනැල්ල අපිට දිස්වේ.

මහගමසේකර කියවන හැමතැනකම පාහේ බොහෝ අය සැරිසරන්නේ ප්‍රබුද්ධ කාව්‍යය වටාය. නමුත් සේකර කියවීම එතනින් එහාට ගෙන යා යුතුය. එවිට අපිට ඔහුව පාලු අඳුරු නිල් අහසේත් ඈත දිළෙන තනි තරුවේත් යුගයෙන් යුගයට හදවත් ඉල්ලන කවියේත් ඔහුව පෙනෙනු ඇත.

වජිර ජයවර්ධන – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.