චිලී රටෙන් ලොවට දායාද කළ මහා සාහිත්‍යධරයෙක් හා කවියෙක් වන පැබ්ලෝ නෙරුඩා ගේ කවියක් මගේ නෙත ගැටුණි. ඒ ‘Tonight I write the saddest lines’ නම් කව් පැදියයි. ඔහු මෙය ලියා තිබුණේ යාන්තන් දහනම හැවිරිදි වියේ ගැටවරයෙකු සන්දියේදියි. මේ කවිය නෙරුඩාගේ ‘Twenty Love Poems and Song of Despair’ එකතුවේ ‘විසිවෙනි කවිය’ හෙවත් ‘Poem 20’ ලෙසින් ලියැවී තිබුණි. මුලින් ස්පාඤ්ඤ භාෂාවෙන් ලියූ මෙය ඉංග්‍රීසියට පරිවර්තනය වන්නේ 1969 දීය. ඒ W. S. Milton නැමැත්තා අතිනි.
ඒක පුද්ගල කතා ශෛලියට ලියැවී ඇති මේ කවිය පුරා ‘මේ රැයේ මම ලියමි දුක්බරම කව් පැදිය’ යන්න තුන් වතාවක් සඳහන් වන්නේ කවියා තුළ ඇති දුක්ඛ දොම්නස්සයන් තීව්‍රව සනිටුහන් කරමිනි.
දුක්බර අඳුරු රැයක කවියා අකුරු කරයි. නිමා නොවන පෙම් කතාවක් යැයි සිතා සිටි ඔහුගේ ආදරය දැන් ඔහු හැර ගොසින්ය. පෙමින් වෙලීහුන් අවදියේ ඔහු විඳි ප්‍රේමය, සරාගය, සුවය වෙනුවට අද ඉතිරිව ඇත්තේ දුක, ශෝකය, තනිකම හා කළකිරීම පමණකි. ‘ප්‍රේමයේ රුදුරු බව මෙයැයි’ කියා නන්දා මාලිනිය ගැයූවෙත් මෙයමද?
දුරස්ව ගිය ප්‍රේමයෙන් උමතුව චිත්ත ව්‍යාකූලත්වයට පත්වන කවියා විටෙක ඇය ඔහුට සැබෑවටම පෙම් කළෙහිදැයි විමසයි. එයින් නොනැවතී තමා ඇයට සැබවින් පෙම් කලාදැයි කුකුසකින් පසුවෙයි. මේ සියල්ල ඔහු හැරදමා ගිය ඇයගේ මතකය අමතක කර හිත හදාගැනීමටය. ඔහු හා පෙමින් වෙලෙන්නට පෙර වෙන අයෙකු හා සිටියාක් මෙන් ඇය දැන් ඇත්තේ ද වෙන අයෙකුගේ තුරුලේ යැයි සිතා හිත හදාගැනීමට කවියා වෙර දරයි.
නෙරුඩාගේ මේ කවියේ සුවිශේෂත්වය ලෙස මා දකින්නේ ප්‍රේමයේ විරහව කෙනෙකුගේ සිතට ගෙන එන දුක් සංවේදනා ඔහු සොබාදහම හා ඈඳාලන අපූරුවයි. එපමණක් නොවේ. ප්‍රේමයේ විරහවෙන් මතුවටද ජීවිතය ගලා යන බව හඟවමින් කවිය නිමාවෙයි.
Pablo Neruda
රැයේ මම ලියමි, දුක්බරම කව් පැදිය…..
මේ රැයේ මම ලියමි
ජීවිතේ මෙතුවකට
මා ලියූ දුක්බරම
කව් පැදිය
නීල තරු නෙතු
ඉඟිමරන කළුවරේ
සිහිල් සුළං රැළි
ගී ගයන ගගනතේ…
මේ රැයේ මම ලියමි
දුක්බරම කව් පැදිය
මම ඇයට පෙම් කළෙමි
ඇය ද විටෙක මට පෙරලා පෙම් කළාය
මෙවන් රෑ අපමණක
ඈ සිටියෙ මා තුරුලෙය
නිමක් නැති අහස යට
හුදකලා පොළොව මත
සිපගතිමි මම ඇයව
නොනැවතී…වියරුවෙන්…
විටෙක ඇය මට පෙම් කළාය
මම ද ඇයට පෙරළා පෙම් කළෙමි
ඇගේ පළිගු මෙන් දිදුළන දෑසට
වසඟ නොවන කිසිවෙකු වෙද ලොව තුළ
මේ රැයේ මම ලියමි
දුක්බරම කව් පැදිය
අල්පේනිත්තක් හද තුළට
කිඳා බසිනා සේ
දැනෙන වේදනාව නම්
කටුකය… තීව්‍රය
තණ අගින් පිණි බිඳක්
පතිත වන්නා සේ පොළොව මත
අනවරතයෙන් ලියැවෙන වදන් වැල්
වැටේ ආත්මය අභිමුවට
තවත් මොකටද දැන් ඉතිං
මගේ පෙම වියැළුණු සිතින්
ඇයව රඳවා ඇයව සඟවා
ඇයව දවටා තබාගන්නට
පෙමින් මුසපත් කර තබන්නට
නොහැකිවුණු මගේ බොල් පෙමින්
කුමට තරු කැට රැයේ දිලුනෙද
ඇය නොමැත අද මා ළඟින්
එසේ වූවද අනේ තවමත්…,
දෑස ඔබ මොබ දුවයි විමසයි
කොහෙද ඇය කොයිබද කියා
සිතත් විමසයි ඇය සිටින ඉම
මම ඉඳිමි සුසුමන් සලා
සුදු සඳේ ගිලි තුරු මුදුන් නම්
අදත් වාගේමයි එදා
එකම වෙනසයි පේන මානයේ
අද කොහේ දුරකද එයා
ඉතින් නම් ආයෙ මම
ප්‍රේම නොකරමි ඇයට…..
එහෙත් එදවස පෙමින් උමතුව
ඇයට මම පෙම් කළ අපූරුව
දන්නේ ගහ කොළ පමණකිය අද
තවකෙකුගේය ….
ඇය අද …
තවකෙකුගේය …
ම ළඟින් නෙත් පියා
සෙනෙහසින් මුව අයා
පටලවා දෙතොල් පෙති
නුරාවෙන් සිටි එයා…
ඇගේ හඬ තවකෙකුටය
නෙතේ සර තවකෙකුටය
කිරිගරුඬ වන් ගතේ
මටසිළුටු මුදු පහස
අද උරුම වෙනකෙකුටය
ඉතින් නම් ආයෙ මම
ප්‍රේම නොකරමි ඇයට…..
…සැබෑවක්මය එය…
එහෙත් මගේ හිත මටත් හොරැහින්
තවම ඇය වෙත සිතින් නතු වේද?
ප්‍රේමය කෙටිය!
මතකය දිගුය!!
මෙවන් රැයක පෙර දවසක
මගේ උර මත මුව හොවා උන්
ඇගේ මතකය තවම ප්‍රබලය
ඇය නොමැති පාළුවෙන්
පණ ගසන ආත්මය
…අසංතෘප්තය…
එහෙයින්ම…
මේ සමහරවිට
ඇය මට ගෙනදෙන
අවසාන වේදනාව විය හැක
එබැවින්ම….
මේ සමහරවිට
මා ඇයට ලියන
අවසාන කව් පැදිය විය හැක.
‘Tonight I can write (the saddest lines)’ by Pablo Neruda (Translation by W. S. Merwin) කව් පෙළ ඇසුරෙනි.
ක්‍රිෂාන්ත වෑවිට – වෙලින්ටන්







