කල්පාන්ත අසනි වරුසා
ගිණි පුළිගු ඇද හැලෙන මග
ගිලන් රථ – කහ රතු
විදුලි බුබුළු තොරණ නැග
ජීවිතය ඉල්ලා
නලා හඬ විලාප තබමින්
කඩා වදියි කලබල නගරයට
ප්‍රමාද වූ මිනිසා
නොමැරෙන නගරයේ
ගිනිගෙන දුවන මිනිසුන්
ගල් ගැසෙයි මොහොතකට
ඉඩ හසර දෙයි ගිලන් රථ අබිමුව
නොඉවසුම්ව දවසේ කාරියට
ශාප කරතියි යටි සිතින්
අහිමිවූ තත්පර ගනිමින්
පිං පවු භාවනා
අද නොවේ හෙට
අභිධර්ම තර්ක විතර්ක කල පැමිණි
හෘද සාක්ෂියේ දොරටු
ඇණ ගැසූ මිනිසුන්
සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයෙන්
තවත් හෙට දවසක් කල් ගනියි
වියැකේ නලා හඬ
නගර දොර පසු කරන
ප්‍රමාද වූ මිනිසා එල්බී පිණි බිඳක
ගිලන් රථ කවුළුවෙන් ඈත
පලාවන් තීරයේ දඬුවැල් මී බඳින
මහාර්ඝ දසුනින් වශී වන ඔහුට
සේලයින් නැවතුණු බට දිගේ
සෙමින් ඇදෙන
කරවලෙකු නොපෙනේ.
By A. M. L. Aththanayake – Auckland