2025 මැයි 10 වෙනි දින, පාමස්ටන් නෝර්ත් හි ශ්‍රී ලාංකීය ප්‍රජාව විසින් බුද්ධාලම්බන ප්‍රිතියෙන් යුතුව සංවිධානය කළ සම්බුදු තෙමඟුල–2025 වෙසක් උත්සවය Longburn Community Centre හිදී පැවැත්විනි. Palmy Buddhist Viharaya සහ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය එක්ව ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහය ඇතිව මෙම විශේෂ වෙසක් උත්සවය සංවිධානය කළ අතර එය පාමි නගරයේ පැවැති විශේෂ උත්සවයකි.

උදෑසන 35 දෙනෙකු පමණ අටසිල් සමාදන් විමට හා සම්බුද්ධ පුජාවට සහභාගී වූ අතර පූජ්‍ය බදුල්ලේ අරියවංශ ස්වාමීන් වහන්සේ සම්බුද්ධ පූජාව මෙහෙය වූ සේක. උදෑසන හා දහවල් දානය ද සවස දන්සැල සඳහා ද 300 ට අදික පිරිසක් සහභාගී වූහ. දරුවෝ, තරුණ පිරිස හා දෙමාපියන් එක්ව වෙසක් භක්ති ගීත ගායනය පැවැත් වූහ. උත්සව ශාලාව වෙසක් කූඩු, විදුලි ආලෝක සහ බෞද්ධ කොඩිවලින් සුන්දරව සැරසුණු අතර බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව ඇතුළත් කෙටි චිත්‍රපටයක් ද පෙන්විය. Worshipping the Triple Gems නම් පොත ජනතාවට පූජා කටයුතුවල නිරත වීමට උපකාරී විය.
Palmerston North Interfaith Group හි සාමාජිකයින් කිහිපදෙනෙක් මෙම උත්සවයට සහභාගී වී උණුසුම් පිළිගැනීම, එකමුතුව ආගමික වතාවත්වල යෙදිම, ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරිමේ වටිනාකම පිළිබඳව ප්‍රශංසා කළහ.

මෙම උත්සවය සාර්ථක කිරීමට දායක වූ සියලු දෙනාට ශ්‍රී ලංකා බෞද්ධ සංගමය පුණ්‍යානුමෝදනා පුර්වක ස්තුතිය පළ කරයි. සදාචාරය පිරි සභ්‍යත්වයෙන් යුතු හෙටක්, බාධක පිඩා හමුවේ නොසැලෙන සිතකින් යුතු එකිනෙකාට ගරුකරන ගුණගරුක සමාජයක් අනාගත පරපුරටත් නිර්මාණය කරදීම වෙනුවෙන් අපි එකමුතුව පාමස්ටන් නෝර්ත්හි ස්ථිර බෞද්ධ විහාරස්ථානයක් ආරම්භ කිරිමට අත්වැල් බැඳ ගනිමු.
ඉරෝෂා මීගස්දෙනිය
ලේකම් – ශ්‍රී ලංකා බෞද්ධ සංගමය
පාමස්ටන් නෝර්ත්






