පාතකඩ භික්ෂු අභ්‍යාස විද්‍යාලයයේ පියනන්ද හාමුදුරුවෝ මට නැවත කතා කළහ. ‘මහත්තයා, වරද්දන එපා. අදම එන්න.’
‘එහෙමයි හාමුදුරුවනේ,’ මම පිළිතුරු දුනිමි.
ඒ මා තරුණ සේවා සභාවේ සබරගමු පළාත් අධ්‍යක්ෂක සිටි කාලයේය. මම රත්නපුර යන ගමන් අභ්‍යාස විද්‍යාලයට ගොඩ වැදුණෙමි.
‘හරිම කරදරයක් මහත්තයා, මෙ දෙගොල්ලන්ගෙ විරසකේ ඉවරයක් නෑ නෙව. සළිඳලා කියන්නෙ උන්නැහැලා කාගෙවත් ඉඩමක් උඩින් වතුර ඇලක් යන්න දෙන්න බෑ කියලා. ඉතිං කොහොමද මේ පැත්තෙ ඉන්න අයට වතුර දෙන්නෙ. මේක කුල ප්‍රශ්නෙ. මෙහේ පොඩි අප්පුහාමිලාගෙ පැත්තෙ මිනිස්සුත් කියන්නෙ රොඩී ගම්මානෙ හරහා එන වතූර බොන්නෙ නෑ කියලා. තවත්…’ පියනන්ද හාමුදුරුවෝ කියන්නට ආ දෙය නතර කර ගත්හ.
පන්සල, සළිඳලාගේ රොඩී ගම්මානය (කුප්පායම), හල්ගහ හන්දිය හා පොඩි අප්පුහාමිලාගේ ගම මේ ඉසව්ව පිහිටි පිළිවෙල වීය. ඒ සමගම රත්නපුර කාර්‍යාලයයේ සේවය කරන මුදියන්සේ දාන ගෙය තුළ සිටිනවා මම දුටුවෙමි.
‘මුදියන්සේ මොකද මේහේ? ඇයි අද වැඩට ගියේ නැත්තෙ?’ මම ඇසුවෙමි.
‘ඒක තමයි ඇත්තම ප්‍රශ්නෙ මහත්තයෝ. මුදියන්සෙ හාදයට හල්ගහ හංදියෙන් එහාට යන්න දෙන්නෙ නෑ, සළිඳලාගෙ පැත්තෙ ඇත්තො. අහගන්නකො මහත්තයම.’ හාමුදුරුවෝ පන්සල ඇතුළට ගියෝය.
මුදියන්සේ හොර ගල් අහුලමින් ඉදිරියට ආවේය. ‘දනෝරිසා මට ගෙදර යන්න දෙන්නෙ නෑ.’ ඔහු ගතු කීවේය. දනෝරිස් යනු තවත් රොඩී තරුණයෙකි. ‘දැන් දවස්ම තුනක් මේ මහ මග.’ මුදියන්සේ අඬා වැටුණේය.
‘හේතුව?’
‘සර්.’
‘මම?’
‘ඔව්.’
‘අර කොහොමද?’
‘එදා මීටිං එකේදි සර් කිව්ව කුල භේදය කියල එකක් නෑ කියලා. ඒ මදිවට රොඩී කියන්නෙත් රත්නවල්ලිලාගෙන් එන රාජකිය අය කියලා.’
‘ඉතිං?’
මුදියන්සේ ටික වෙලාවක් ඇඹරුණේය. වට පිට බැලුවේය. ‘මම කමලා බඳිනවට දනෝරිසා කැමති නෑ.’
‘මේ සළිඳලාගෙ දුව? ඈ දනෝරිසාට තීන්දුවෙල කියලා මටත් ආරංචියි.’
‘නෑ. කමලා කියනවා ඒ බොරුලු. එයා කැමති මට. බලන්නකො සර් කොරපු දෙයක්. ඔක්කොම සමානයි කියලා.’
‘ලෝකෙ පවතින්න භේද තියෙන්න ඕනෑ පෙරේර මහත්තයා. එපා කිව්වට අතාරින්න මිනිස්සු කැමති වෙන්නෙ තව ගොඩක් දියුණු වුණාම.’ පියනන්ද හාමුදුරුවෝ ආපසු අප ඉදිරියට එමින් කීවෝය.
‘දැන් හමුදුරුවො කියන්නෙ කුල භේද ඕන කියලා තව මීටිං එකක් තියන්න කියලද?’ මම ඇසුවෙමි.
‘අපි අනිද්දා මීටිං එකක් තියමු. ඒකෙදි කියමු, වතුර ඇලට ඒ පැතෙන් ඉඩ දෙන්න කියලා. මෙ පැත්තෙ අයට කියමු ඒ වතුර පාවිච්චි කරන්න කියලා.’
‘මුදියන්සේ ?’ මම ඇසුවෙමි.
‘හෙටටත් පන්සලේම ඔහෙ හිටපු දෙන්. අනිද්දා මීටිමේදි කියමු ඔය සම්බන්දෙ දැන් නෑ කියලා. දනෝරිස් උන්නැහෙලත් එතකොට ටිකක් විරසකේ අඩු කොර ගනියි. නැත්තං දනෝරිසා මුන්නැගෙට පිහියෙන් ඇනලා දායි. වතුර ගන්න එකයි, හිරයක් ගේන එකයි දෙකක් නෙව මහත්තයෝ. පලවිපාක කියා දීලා ඔය සම්බන්දෙ අතාරින්න කියලා මුදියන්සෙ උන්නැහේට කියා දෙන්න මහත්තයෝ.’ හාමුදුරුවෝ සිවුර උර මත දා ගත්හ.
මම මුදියන්සේට මෙම සම්බන්ධයෙන් දෙපැත්තටම වන අසීරුකම් කියා දුනිමි.
‘ඇත්ත සර්. මම සර් කියන එක පිළිගන්නවා.’ අවසානයේ ඔහු එකඟ වීය.
පසුදාට පසුදා රැස්වීමට පැමිණෙන පොරොන්දුව පිට මම ආපසු ගියෙමි.
දෙපසම රැස්වීමට සූදානම් බව පසුදා පියනන්ද හාමුදුරුවෝ මට දන්වා සිටියහ. ‘මේ යෝධයා මහත්තයගෙ වචනෙ අහක දාන්න බැරි කමට ඔය සම්බන්ධෙ අතාරින්න එකඟ වුණේ. පොදු යහපතට පුද්ගලික දේවල් කැප කරන්න ඕනැ. දනෝරිසා උන්නැහෙලත් වෛරය අඩු කරගෙන. දැන් වෙනස් වෙලා. පොඩි අප්පුහාමිලාටත් වතුර එපැයි කුල මහන්තත්තෙ තිබුණට මහත්තයෝ. මීටිමට නොවරදවාම එන්න. හප්පා මේ ජල යෝජනා ක්‍රමය ඇදෙන්නෙ පරම්පරා කීයක ඉඳලද?’
ඊළඟ දිනයේදී මට කාර්යාලයයේදී මුදියන්සේ හමු වීය.
‘රැස්වීමට එනවා නේද?’ මම ඇසුවෙමි.
‘නෑ සර්.’ ඔහු බිම බලා ගත්තේය. ඒත් යම් ජයග්‍රාහී සිනාවක් ඔහුගේ මුවගට පහළ වීය. ‘පස්සෙ එන්නම් සර්,’ කී ඔහු ඉක්මනින් වෙන දෙසකට ගියේය. මේ වෙනස කුමක්දැයි මම කල්පනා කළෙමි. සවස් භාගයේ මුදියන්සේ මගේ කාර්යාලයට ගෑටුවේය.
‘මම කමලාවතී රත්නපුරෙට එක්ක ආවා. අපි දැනට කාමරයක් කුලියට ගත්තා. කසාදෙයි ජල යෝජනා ක්‍රමයයි කියන්නෙ දෙකක් නෙව සර්,’ ඔහු උත්තර දුන්නේය.
(සත්‍ය සිදුවිමක් ඇසුරෙන්. චරිතවල පුද්ගලික බව රැකීමට නම් ගම් වෙනස් කර ඇත.)
By G S Perera – Auckland