සමාදානයේ සැතපේවා යයි කියන්නේ මෙවැනි තැනක නිදහසේ සැතපෙන්නට ලැබේවා යන්න විය යුතු යයි මට සිතුනේ මගේ අලුත් නිවහනට මායිම්ව තිබෙන මෙම රමණීය සුසාන භූමිය දුටු මුල්ම දවසේය. අක්කර ගණනාවක් පුරා පැතිරී තිබෙන උද්‍යානයක් බඳු වූ මෙම අලංකාර සොහොන් බිම තිබෙන්නේ ඕක්ලන්ත නුවර මැන්ගරී ප්‍රදේශයේ නිසල පරිසරයකය.
‘Mangere Lawn Cemetery’ නම් වූ මෙම සොහොන් බිමේ ආරම්භය ලෙස සටහන් වන්නේ 1840 වසරයි. මෙහි මුල්ම මිහිදන් කිරීම සිදුව ඇත්තේ 1894 දීය.
මෙම සොහොන් බිමේ විශේෂත්වය වන්නේ එය සැලසුම් කර ඇති ආකාරයයි. පාර දෙපැත්තට වන සේ එක පෙළට සිටුවා ඇති මෑතදී ඉදි කළ දර්ශනීය සොහොන් කොත් මෙන්ම දශක ගණනාවකට පෙර ඉදි කළ සිමෙන්ති බිමකින් පමණක් වට වූ සොහොන්කොත් ද එකම රටාවකට පෙළ ගස්සවා ඇති අයුරු අපූරුය.
Columbarium Wall කොලම්බේරියම් තාප්පය එහි ආරම්භයේ දී ආදාහනය කරන ලද දේහයන් තැන්පත් කිරීම සඳහා ඉතා නවීන විකල්පයක් ලෙස සලකනු ලැබුවත්, පසුකාලීනව එහි ඇති අපහසුකම් සලකා බලා එම භෂ්මාවශේෂ සහ ඒ ආශ්‍රිත සමරු ඵලක නව කොලොම්බරියම් හෝ මවුන්ටන් වීව් අළු උද්‍යානය වෙත මාරු කොට දැනට පවතින තත්ත්වයට ගෙන ඒමට මෙම සොහොන් බිම භාරව කටයුතු කරන Mangere Lawn Cemetery Trust Board පියවර ගෙන ඇත.
කුඩා කළ ලංකාවේ දී සොහොන් බිමක් තිබෙන පැත්තක් දෙස වැරදිලාවත් නොබැලු මම, දැන් දිනපතා ඇවිදින්නට යන්නේ මෙම සුන්දර කනත්ත මැදින් ඇති පාරක් දිගේ වීම ගැන මට ඇත්තේ මා ගැනම පුදුමයකි. ජීවිතයේ සැඳෑ සමයේදී සියලු දේවල්වල අනිත්‍ය බව හෙමිහිට පසක් වෙද්දී එය අර්ථ ගන්වන හොඳම තැන කනත්ත වීම එයට හේතුවක් විය හැකිය.
තවද ජීවත්ව සිටින මිනිස්සුන්ගෙන් මෙන් කරදරයක් හිරිහැරයක් මෙහි සුවසේ නිදන අයගෙන් නොපැමිණෙන බැවින් බියවීමට හේතුවක් නැති බව ඔවුන් පසු කර දිනපතා ඇවිදින මට මේ වන විට හොඳින් අවබෝධ වී ඇත.
හිමිදිරි උදයේ හිරුගේ දිලිසෙන කිරණවලින් සොහොන් බිම පුරා වැතිරී සිටින පිණි කැට මැණික් කැට මෙන් කනත්ත පුරා දිස් වෙන සුන්දර දසුන මට වචනවලින් විස්තර කළ නොහැකි තරම්ය. මේ ප්‍රදේශයේ පදිංචියට පැමිණියායින් පසුව සොහොන් බිම හරහා ගොස් අනික් වීදියේ ඇති ශාන්ත අන්තෝනි දේවස්ථානයට සෑම අඟහරුවාදා උදයකම යාමට පුරුදු වී සිටින මට විවිධාකාර පුද්ගලයෝ පල්ලියේ දී මෙන්ම සොහොන් බිමේදීත් මුණ ගැසෙති. නිසල තැනක පිහිටා ඇති මෙම පල්ලියේ එලිමහනේ ආවරණයක් නොමැතිව වැඩ සිටින ශාන්ත අන්තෝනි කිරිගරුඬ පිළිරුවේ ඇත්තේ මහත් ශාන්ත බවකි. පිළිරුව අබියස වැඳ වැටී යාඥා කරන බැතිමතුන් දෙස මෙන්ම සොහොන් කොත් ළඟ වැටී හඬන දොඩන අයද උන්වහන්සේට මෙතැන සිට පෙනෙනවා ඇතැයි මට සිතේ.
සොහොන් බිම පුරා දවස තිස්සේම දුක්මුසු මුහුණින් යුතුව සොහොන ළඟ සුද්ද පවිත්‍ර කරමින්, විවිධ මලින් සොහොන් කොත් සරසමින් සිටින පිරිස බොහෝය. මේ වන විට මෙම සොහොන් බිමේ හතර අත ඇවිදිමින් සොහොන් ඵලක කියවන්නට අවස්ථාව ලද මම, ජීවත්ව සිටිනවුන්ගේ ශෝකාලාප එම පුවරුවල ඇති වැකිවලින් හෝ ඔවුන් පැමිණ සිටුවා යන මල් පොකුරුවල ලියා ඇති සටහන් වලින් හඳුනා ගෙන සිටිමි.
මට මෙය එක්තරා විදියක පර්යේෂණ කටයුත්තකට සමාන වූ බව කිව යුතුමය. සමහර දිනවල එහි පැමිණෙන අය සමඟ සුහද වන මම ඔවුන් සමඟ පිළිසඳරේ යෙදී මිය ගොස් සිටින පුද්ගලයාගේ වගතුග අසා දැන ගනිමි.
විටෙක මහා යුග පුරුෂයෙකු ලෙස ජීවත් වූ පියෙකු හෝ සැමියෙකු ගැන ඔවුන් කරන ඉතා ඉහළ වර්ණනාවලට ඇහුම්කන් දෙන මට ඒ අතරේම අඩු වයසින් මිය ගිය ඥාතියෙකු හෝ පෙම්වතියක හෝ පෙම්වතෙකු ගැනද පුවත් දැන ගන්නට හැකි වේ.
ජීවත්ව සිටින කාලයේදී තම දෙමාපියන්ට, ඥාතීන්ට, හිතවතුන්ට හිත පුරා සැලකූ අය මෙන්ම ඔවුන්ට සලකන්නට නොහැකි වූ අයද මේ පිරිස් අතර සිටිනු නොඅනුමානය. සමහරු සොහොන් කොත අබියස දෙදණ නවා ගෙන හඬමින් පවසන දේ කුමක්දැයි අනුමාන කරන්නට නොහැකි වුවත්, මෙතැන සැතපී සිටින පුද්ගලයා හදවතට සමීපව සිටියෙකු විය යුතු යයි මට සිතේ.
තමන් අතින් ඉටු විය යුතු යුතුකම්, වගකීම් හැකි උපරිමයෙන් ඉටු කළ කෙනෙකුට හඬා වැළපෙන්නට තරම් දෙයක් ඉතිරි නොවන්නේ ඉපදුණ හැමකෙකුටම අවසානයේ අත් වන්නේ මරණය බව දන්නා හෙයිනි.
ජීවිතය පුරාවට නොයෙකුත් කම්කටොළු මැද ජීවත් වූ කෙනෙකුට සිය අවසන් ගමන මෙවන් නිස්කලංක පරිසරයකදී නිම කරන්නට හැකි වීමද එක්තරා විදියක වාසනාවක් ලෙස මට හැඟේ.
මා මේ ලිපිය ලියන අතරවාරයේ මියගිය අපේ කතෝලික මිතුරියකගේ මිහිදන් කිරීම මෙම සොහොන් බිමේ සිදු වූ අතර දිනපතා මෙතැනින් ඇවිද යන මට පස් කන්දක් යට වැළලී ඇති ඇගේ සොහොන මත මිලානව ගොස් ඇති මල් පොකුරු ඇස ගැටේ. මෙයයි ජීවිතයේ ස්වභාවය. විටෙක මෙහි තිබෙන බංකුවක් උඩට වී ජීවිත ගමනේ සංසිද්ධීන් මෙනෙහි කරන මට, මෙම සෙහොන්බිමේ ඇවිද යාම කෙදිනක හෝ යා යුතු අවසන් ගමනේ පෙර සූදානමක් ලෙසද හැඟේ.
By Indra Dayamani Colombage – Auckland