එක කුසේ ඉපදුණු අයියා මල්ලි මෙන් හිතවත් කම හා උදව් පදව් සුජිත්ගේ හා අරුණගේ පවුල් දෙක අතර එමට තිබුණි. කිසිම දිනක ආරවුලක් මෙම පවුල් දෙක අතර සිදුවූයේ ද නැත. අරුණගේ පුත් රාහුල හා සුජිත්ගේ දියණිය විශාඛා යන දෙදෙනාම කුඩා කල සිටම කෙලි සෙල්ලම් කළේ එකටමය. නොදැනීම කාලය ගත වී යන විට රාහුල හා විශාඛා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වීය. එය රහසක් ලෙස දිගටම පවත්වා ගෙන යාමට තරුණ යුවලට අවශ්‍ය නොවීය.
එබැවින් දෙදෙනාම කතා වී තම ප්‍රේම සම්බන්ධය ගැන පවුල්වල දෙමව්පියන් දැනුවත් කළෝය. දරුවන් පුදුමයට පත් කරමින් දෙමව්පියන් එක් අයෙකුවත් එම ප්‍රේම සම්බන්ධයට එකඟ වූයේ නැත. එසේ විරුද්ධ වන්නේ ඇයි දැයි දරුවන් විමසූ විට කිසි කෙනෙක් එයට නිසි උත්තරයක් දීමට ද පොහොසත් වූයේ නැත.
විශාඛා පවුල් සමාජ අධ්‍යාපනය ගැන පශ්චාත් උපාධිධාරිනියක් වූවාය. දෙමව්පියන්ගේ මෙම ගුප්තවූත් හේතු රහිතවූත් තීරණය ගැන සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් කිරීමට ඈ තීරණය කළාය. පවුල් දෙකෙහිම අතීත සිදුවීම් සියල්ල වාචික හා ලිඛිත සාක්ෂි සහිතව ගොනු කිරීමට ඇයට රාහුලගේ උදව් ද නොඅඩුව ලැබූණි.
නරාහේන්පිට ඇන්ඩර්සන් තට්ටු නිවාසයේ එක යාබද නිවාස දෙකක යෞවනයේ සිටි අරුණ හා සුජිත් පවුල් දෙක එකල සතුටින් වාසය කර ඇත. අරුණ එකල සිගරැට් සේල් රෙප් කෙනෙකු විය. ඔහුගේ බිරිඳ අමිතා එකල රාත්‍රී සමාජ ශාලාවක පිළිගැනීමේ නිලධාරිනියක් වූවාය. සුජිත් රාත්‍රී මුර සේවයේ යෙදුණු ආරක්ෂක නිලධාරියෙකුව සිටි අතර ඔහුගේ බිරිඳ සුනීතා පාසැල් ගුරුවරියක් ලෙස සේවය කළාය.
මේ නිසා පවුල් දෙකම එකට විනෝද වීමට පවුලේ දෙදෙනාටම අවස්ථා අඩු වීය. නමුත් එකිනෙක ගෙවල් අතර කෑම් බීම් ඕනෑ එපාකම් උදව්පදව් සිදු වීමට එය බාධාවක් නොවුණි. එකිනෙක පවුල් අතර තිබු විශ්වාසය ආදරය කරුණාව නිසා සුජිත් හා අමිතා අතරත් අරුණ හා සුනීතා අතරද ඇති වී තිබුණේ දැඩි දබැඳියාවකි. එබැවින් අරුණට හෝ සුජිත්ට නිවාඩු නොමැති විටක මිතුරු පවුලේ බිරිඳට පිහිට වූයේ අනික් පවුලය.
කාලයකට පසු අරුණගේ බිරිඳ අමිතා පිරිමි දරුවකු ප්‍රසූත කළාය. සුජිත්ට ද දරුවන් නොමැති වීම නිසා ඔහු දිගු කාලයක් සිටියේ කණස්සල්ලෙනි. එබැවින් අරුණගේ උදව් සුජිත් හා සුනීතා ජෝඩුවට ඉතා අවැසි විය. අරුණ පවුලට දරුවකු ලැබීමට උදව් උපකාර කළ දේවාලයක කපුවකු ළඟට සුජිත් හා සුනීතා රැගෙන යාම සිදුවන්නේ තම පවුල් අතර තිබෙන දැඩි ළෙන්ගතු කම නිසාවෙනි.
සවස දේවාලයේ සේවාවන්වලට සුජිත් ජෝඩුව සමග ගියේ අරුණ වුව ද සමහර දිනවලට දින කීපයක් නොකඩවාම යෑමට අවශ්‍ය නිවාඩු ගැනීමට සුජිත්ට නොහැකි විය. නමුත් රාත්‍රී නිවාඩු තිබූ අරුණට එම දිනවලදී ඇයව පුජාවට රැගෙන යාමට සිදු විය. අවුරුදු දෙකක් පමණ ගතවන විට සැමගේ පැතුම් ඉටු කරමින් සුජිත්ගේ බිරිය ගැහැණු දරුවකු ප්‍රසූත කළාය.
සමාජ අධ්‍යයනයක යෙදෙන විශාඛාට ඉතා වැදගත් තොරතුරක් අහම්බෙන් ලැබිණ. මෑත කාලයේ අම්මලා දෙදෙනාම කාටත් හොරෙන් කියවන පොත් පත් කීපයක් තරුණ යුවලට සොයා ගත හැකි විය. එහි තිබුණේ ලේ විවාහය සම්බන්ධ කරුණුය. එවැනි විවාහයන් නුසුදුසු බවත් එයින් මන්ද බුද්ධික දරුවන් බිහි වීමට වැඩි ඉඩක් ඇති බවත් පැහැදිලි කර තිබිණ.
අම්මලා දෙදෙනාම මෙම මාතෘකාව ගැන එකවර උනන්දුවක් ඇතිවීම ගැන විශාඛා මවිතයට පත් වූවාය. අම්මලා දෙන්නා අතර ඒ ගැන කතිකාවක් සිදු නොවීමත් අහඹු ලෙස දෙදෙනාම එකම මාතෘකාවක් ගැන මෙසේ කලබල වීමත් ඇයගේ අවධානයට ලක්වූවාය. තමන්ගේ විවාහයට විරුද්ධ වීමට ප්‍රධාන හේතුව මෙය විය හැකි බවට ඉඟියක් විශාඛාට ලැබිණ. ඊට අමතරව තම තමන්ගේ උප්පත්තියට පෙර පවුල් දෙක අතර තිබූ කරුණු කාරණා ද එමටය.
වෛද්‍ය වාර්තාවලට අනුව පවුල්වල කිසිවෙකුටත් දරු ඵලවල අඩුවක් තිබී නැත. සමහර සිදුවීම් පිළිබඳව දෙමව්පියන්ගේ විස්තර ගුප්ත වූවෝය. දරුවන් දෙදෙනාට තම විවාහය ගැන තීන්දුවක් ගැනීමට අවශ්‍යව තිබූණි. එබැවින් ඇය සොයා ගත් කරුණුවලට අමතරව තරුණ ජෝඩුව ජාන පරීක්ෂණයක් (D.N.A ) කිරීමට ද තීරණය කළෝය.
එම පරීක්ෂණ ප්‍රතිඵල දරුවන් දෙදෙනාම විමතියට පත් කළේය. තම උප්පත්තිය ගැන ලැබුණු ඉඟියෙන් තම තමන් අතර ලේ නෑ කමක් නැති බව තහවුරු වී තිබුණි. එබැවින් අම්මලාට ද වැරදී ඇති බව විශාඛා සිතුවාය.
සියලුම කරුණු පැහැදිලිව දැන ගත් විශාඛා රාහුල සමග විවාහ වීමට තීරණය කළාය. ‘මට වෙනව ඔයාගෙ තාත්තට මාමණ්ඩි නෙවෙයි තාත්තා කියන්න.’ඇය රාහුලට කීවාය
‘මට තේරෙන්නෙ නෑ. එතකොට අපෙ තාත්තට මම මොකක්ද කියන්නෙ?’ රාහුල ඇසුවේය.
‘මාමණ්ඩි කියන්න…’ ඇය කීවාය.’ ඕව ඔහොම තමයි. කවුරුත් රාග දෝෂ මෝහ තියන පෘතග්ජනයො නෙව.’
නමුත් ඔවුන් බිහි කළ දරුවන් කිසිවෙක් අංග විකල නොවූවෝය.
By Daya Pratapasingha – Auckland