කඩදාසිය බංකුව මත තැබූ වන්කා බිම ඉඳගත්තේය.
‘ආදරණීය කොන්ස්ටන්ටින් ආතේ. ආතට දෙවියන්ගේ ආශීර්වාද ලැබෙන්න කියල නත්තල් සුබ පැතුමක් එවනවා. අම්ම-තාත්ත නැති මට ඉන්නෙ ආත විතරයි.’
හිස ඔසවා බැලූ වන්කාට අඳුරු ජනෙල් පියන් අස්සෙන් කොන්ස්ටන්ටයින් ආතා මැවී පෙනුණේය. ඔහු ෂිවරෙව්ලාගෙ වත්තේ රෑ මුර කාරයාය. දවල් කාලයේ එක්කෝ කුස්සියේ නිදා ගත්තේය. නැත්නම් කෝකියා හෝ කුස්සියේ වැඩ කරන අය සමග විහිළු කළේය. රාත්‍රියට බල්ලන් දෙන්නත් එක්ක වත්ත පුරා ඇවිද්දේය. මේ වෙලාටට පල්ලියෙ ජනේලෙන් එන රතු ලයිට් දිහා බල බල ගේටුටව ළග ඉන්නවා ඇති. දුම් කුඩු ටිකක් නිය පිටට අරන් කෝකියාට හරි කුස්සියේ කෙල්ලකට හරි දීල ‘හිර වුණ නාස්වලට අපූරුයි,’ කියා කොක්හඩලා සිනාසෙනවා ඇති. ඔහු බල්ලන්ටත් දුම් කුඩු උරවන්නේය. එකක් අදින කෂ්ටන්කා හිස කරකවමින් දුවයි. ඒත් ඊල් වලිගය වනමින් කිඹිහුම් හිරකරගෙන සිටී.
සුසුමක් හෙළූ ඔහු පෑන තීන්ත කුප්පියේ ඔබා නැවත ලියන්නට පටන් ගත්තේ ය.
‘මහත්තය ඊයෙ මට සෑහෙන්න තැලුවා. චූටි පුතා නලවන කොට නිදා වැටුණ කියල කෙස්සෙන් ඇදගෙන ගිහින් එළියට තල්ලු කරල අශ්වයට ගහන කසෙන්. දවසක් නෝන මං වලිගෙ පැත්තෙ ඉඳල හුරුල්ලෙක් සුද්ද කරන්න පටන් ගත්ත කියල, උගෙ ඔළුව මගෙ මූණෙ අතුල්ලා ගැහුව. මෙතන පුරුදු වෙන අනෙක් ළමයින් මාව විහිළුවකට අරං. ඒ ගොල්ලො මාව වොඩ්කා ගේන්න කියල තැබෑරුමට යවල පිපිඥ්ඤ හොරකං කරනව. ඉතිං මහත්තය ඉස්සෙල්ලම අතට අහුවුණ එකෙන් මට ගහනව. කන්නත් නෑ. උදේට පාං. රෑට කැඳයි පානුයි. තේ වතුර ගෝව සුප් ඔක්කොම ඒ ගොල්ලොම උදුරල අරං බීල දානව. මට කොරිඩෝ එකේ නිදාගන්න ඇරල ළමය ඇහැරුණොත් නලවන්න කියනව. අනේ ආතෙ මාව එක්ක යන්න. ගමට. ගෙදරට. නැත්නම් මාව මැරිල යාවි.’
වන්කාගේ දොතොල වෙවුලුවේ ය. දෑස පිටිඅල්ලෙන් පිසදාගත් ඔහු ඉකි ගැසුවේ ය.
‘මම ආතට දුංකළ කුඩු කරල දෙන්නම්. ආත වෙනුවෙන් යාඥා කරන්නම්. මම හිතුවක්කාර නම් ඕනැ තරම් තඩි බාන්න. කරන්න වැඩක් නැත්නම් සපත්තු සුද්ද කරල දෙන්නම්. බැටළුවො බලා ගන්න යන්නම්. අනේ ආතෙ මේව දරාගන්න බෑ. මාව මැරිල යාවි. මට හොරෙන්ම ගමට යන්න හිතුන. ඒකත් බෑ හිමේ. සපත්තු නැතුව. මම ලොකු වුණාම ආත බලා ගන්නව. මැරුණ දාක අම්මට කරනව වගෙ යාඥා කරනව. මොස්කව් හරිම ලොකුයි. මහත්තුරුන්ගෙ ලොකූ ගෙවල්. අශ්වයො. බැටළුවොයි බල්ලොයි නැති එක එච්චර දෙයක් නෙවෙයි. මෙහේ සාප්පුවල අපේ මහත්තයට තියනව වගෙ ලොකු තුවක්කු තියනව. එකක් රූබල් සීයක්වත් ඇති. මස් කඩේ හරිම සද්ද බද්ද. වළිකුකුල්ලු. හාවො. කවුරුවත් කියන්නෙ නෑ උන් වෙඩිතියල මරලද නැද්ද කියල. අනේ ආතෙ නත්තල් ගහ තියන දාට මටත් රත්තරං පෙටිටියක් අරන් තියන්න. ඔල්ගට කියන්න ඒක වන්කට කියල.’
නැවතත් බර සුසුමක් හෙළූ වන්කා ජනේලය දෙස බැලුවේ ය. නත්තල් ගහක් ගේන්න ආතත් එක්ක ගිය හැටි. අප්පා කොච්චර සංතෝස දවස්ද! ආතා හයියෙන්ම හිනා වේවි. හිමට වැහුන ලන්දත් හිනාවේවි.
අම්මා වැඩ කළ තැන සිටි ඔල්ගා වන්කාට රසකැවිලි දුන්නාය. ලියන්න කියන්න නටන්න කියා දී සිනාසුණාය. අම්මා මිය ගියාට පස්සේ වන්කාව මොස්කව්වල අල්යාකින් කියන සපත්තු කාරයා ළග වැඩ පුරුදු වෙන්න දැම්මා.
‘අනේ ආතෙ,’ වන්කා ලියන්නට පටන් ගත්තේය. ‘ඒ ගොල්ලලො මාව බඩගින්නෙ තියල හැම වේලෙම ගහනව. මම හැම වේලෙම අඬනව. දවසක් මහත්තය මගෙ ඔළුවට පොල්ලකින් ගහල මං වැටුණම මං හිතුවෙ නෑ ආයෙ නැගිටියි කියල. අනේ ආතෙ මාව මෙහෙන් එක්කරගෙන යන්න. මම හරිම අසරණයි. බල්ලෙක් වගෙ. ඇලියොනයි, යේගයි, ඩැයිවර උන්නැහැයි මතක් කරන්න. මගේ ඇකෝඩියන් එක කාටවත් දෙන්න එපා. අනේ ආතෙ එන්න. මාව එක්කර ගෙන යන්න.’
වන්කා කඩදාසිය හතරට නමා ඉස්සෙල්ලා දා කොපෙක් එකකට ගෙනා කවරය ඇතුලට දමා කවරය ඇලෙව්වේය. ටිකක් කල්පනා කළේ ය. පෑන තීන්ත කූඩවේ ඔබා ‘ගමේ ආතා වෙතටය,’ යි කියා ලියා හිස කැසුවේය. නැවත කල්පනා කර ‘කොන්ස්ටන්ටින් මකාරිච්’ කියා එකතු කළේ ය.
කිසි කෙනෙක් බාධා නොකළ එක ගැන සතුටට පත් වූ ඔහු තොප්පිය දා ගෙන හැකි තරම් වේගයෙන් වීදියට දුව ගොස් ලිපිය තැපැල් පෙට්ටිය ඇතුළට දැම්මේය. පැයකට පමණ පසු මේ බලාපොරොත්තුත් ඇතිව තද නින්දට වැටුණේය.
… … …
උදුන අයිනේ සිටි කොන්ස්ටන්ටින් ආතා පාවහන් නැති දෙපා පද්ද පද්දා කෝකියාට ලියුම කියෙව්වේය. ඊල් තමන්ගේ වලිගය වනමින් ඉස්සරහට පස්සට ගියේය.
අනුවාදය – බී.කරසිංහ ආරච්චි