fbpx
17.1 C
New Zealand
Sunday, October 11, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

කොඩිවින | මලිත් චතුරංග සමරසිංහ | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

වැව ළඟ වංගුව අසලින් පයින් ගෑටුව ගුණසෝම මුදලාලි පසු කරමින් මහා වේගයෙන් ඇදී ගිය සැප මෝටර් රථය හඳුනා ගැනීමට ඔහුට අපහසු වූයේ නැත. ඒ පෙර දිනයකදී කඩේට පැමිණි ගමේ කොල්ලෙක් කියූ කතාව මතක් වීමෙන්ය.

‘මුදලාලි දන්නවද අලුත්ම නිව්ස් එක. මෑණියන්ගේ ගෙදරට සුපිරි වන්ඩියක් බැස්සුවා මේ දැන්. මෑණියන්ගේ පුතා ගැම්මට එලවන් ආවේ. මේ අහල පහල එක ගමකවත් නෑ ඒ වගේ කාර් එකක් නම්. දැන් ඉතින් ත්‍රීවිල් එකෙන් එහෙ මෙහෙ ගිහින් ඉවරයි. තෝත්තර කරන්නත් කාර් එකේම යයි.’

කොල්ලා කියූ ආකාරයටම එය නම් ඉතාමත්ම සැප මෝටර් රථයක් යැයි ගුණසෝම මුදලාලිටද සිතිණි. කිරි සුදු පාටට දිලිසුණු අලුත්ම මෝටර් රථයෙන් තමාට ද හංදිය දක්වා යාමට තිබුණා නම් යැයි ඔහුට සිතුණි.

‘මෑණියන්ගේ කොල්ලට තිබුණා නවත්තල මාවත් දාන් යන්න. ඕක ගන්න ගිය සල්ලි ගොඩේ මගේ සල්ලිත් තියෙනවා. රුපියලක් දෙකක් නෙමේ, ගෙඩි පිටින්ම ලක්ෂ දෙකක්.’

ක්ෂණික ද්වේශ සහගත හැඟීමකින් යුතුව ඉදිරියට ඇදෙමින්ම මීට මාස හයකට පමණ ඉහත දී සිදු වූ සිද්ධීන් සමුදායක් ඔස්සේ ගුණසෝම මුදලාලි අතීතය සිහිපත් කළේය.

තම පාරිභෝගික භවතුන්ගේ හොඳ හිත දිනා ගනිමින් පාලන මිල ගණන්වලට අනුකූලව ඉතාමත් සාධාරණ ලෙස සිල්ලර කඩයක් ගුණසෝම මුදලාලි කරගෙන ගියේ අවුරුදු 25කට ආසන්න කාලයක් තිස්සේයි. ගමේ පංසලේ ප්‍රධාන පෙළේ දායකයෙක් වූ ඔහු, ගමේ කොයි කාගෙත් ආදරයට ගෞරවයට පත් වෙච්ච නිහතමානී චරිතයක් වීය. මීට මාස හයකට පමණ ඉහත දී සිය ව්‍යාපාරය හිටි අඩියේ කඩා වැටෙන්නට පටන් ගත් හැටිත් පවුලේ උදවියගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නටත් වීම හේතුවෙන් මුදලාලි හාමිනේගේ බලවත් යෝජනාව නිසාවෙන්ම ගමේ අලුතින් ඉදිකළ දේවාලයේ මෑණියන්ගෙන් සාස්තරයක් අහන්නට ගිය හැටිත් ගුණසෝම මුදලාලිට මතක් වීය.

‘බොහෝම නරක කාලයක් උදා වෙලා තියෙන්නෙ. කිසිම දෙයක් යා දෙන් නෑ. ඉස්සරහ දොර ළඟයි පස්ස දොර ළඟයි දෙකේම කොඩිවින හතරක්ම වලලලා තියෙනවා දරුවා. අලුතින් කඩයක් දැම්ම නේද ගමේ ළඟදි. එයැයිලා තමයි කරලා තියෙන්නේ මේවා. දරුවගෙ කඩේ වැහෙන්නමයි කරලා තියෙන්නේ. ඒවා ගොඩ අරන් කැපුවෙ නැත්නම් ජීවිත හානි පවා වෙලයි නවතින්නෙ ඕං’.

ආරූඪ වූ මෑණියන් ඇස් ලොකු කරන් කියූ ඒ භයානක කතාවට වඩා ගුණසෝම මුදලාලිට බය සිතුණේ ඉන් අනතුරුව මෑණියන්ගේ පුතා කියූ කතාව නිසාය.

‘ගුණසෝම අංකල් බය වෙන්න එපා. අපේ මෑණියෝ වැඩේ කරලා දෙයි නියමෙට. කොඩිවින හතරක්නේ තියෙනවා කිව්වේ. එකක් කපන්න යන්නේ රුපියල් පනස්දාහක් විතරයි’.

ගුණසෝම පවුලේ ඉතුරුව තිබූ කුඩා හෝ සැනසීම නැත්තටම නැති කරන්නට ඒ කතාව දායක වූ සැටිත් ව්‍යාපාර අඩපණ වී මුදල් හිඟකමින් පීඩා විඳමින් සිටි නිසාවෙන් තමන්ට හිමිව තිබූ තැපැල් නයින්ටි යතුරු පැදිය විකුණා දමා එම කුඩා තොවිලය සිදු කර හැටිත් එය සිදු කර මාස හයක් ගතවුවත් තවමත් කිසිදු සාධනීය ප්‍රතිඵලයක් නැති හැටිත් තමාගේ යතුරුපැදිය විකුණා දැමීම හේතුවෙන් කඩේට බඩු ගෙන ඒමට තොග කඩය වෙත පයින්ම යෑමට සිදු වූ හැටිත් ගුණසෝම මුදලාලි සිහිපත් කළේ අපේක්ෂා භංග වූ සිතින්.

එවිටම වාගේ පැමිණි ත්‍රීරෝද රථයක් ඔහු අසල නැවැත් වූ අතර සිනහමුසු මුහුණින් යුතුව කතා කළේ රියදුරු අසුනේ සිටි ‘අලුත් කඩේ මුදලාලි’ ය.

‘අහ්, ගුණසෝම මුදලාලි. හංදිය පැත්තෙ යනවා නම් නගින්න. මම දාගෙන යන්නම්.’

මලිත් චතුරංග සමරසිංහ – ඕක්ලන්ඩ්

*****

සටහන –

* මෙය තවත් කෙටි කෙටි (Flash) කතාවකි.

* රචකයා කෙලින්ම කතාවට බසී. චරිත හා පසුබිම කතාව ගොඩනගන ගමන් ඉදිරිපත් කෙරේ.

* හදිසි සිදුවීම – නවීන මෝටර් රියක් මහා වේගයෙන් ප්‍රධාන චරිතය පසු කර යයි. ඒ සිදුවීම කියවන්නාගේ කුතුහලය ඩැහැගනී.

* ගැටුම – ව්‍යාපාරික පිරිහීම ගැන ප්‍රධාන චරිතයේ මනෝමය ගැටුම. අළුත් ව්‍යාපාරිකයා මනෝමය සතුරාය.

* කතාව ගොඩ නැගීම- ප්‍රධාන චරිතය අතීතය සිහිපත් කිරීම මත.

* උච්චය (Climax) – ප්‍රධාන චරිතය පියවි ලොවට පැමිණීම.

* අවසානය – ප්‍රධාන චරිතයේ මවාගත් සතුරාගේ ඇරයුම.

* මෙතැනින් පසු කුමක්ද කෙසේ වේවිද යන්න රචකයා කියවන්නාට පූරණය කරන්නට ඉඩ තබයි.

* මුල සිටම ශ්‍රී ලංකන්ස් පුවත්පතට ලියන මලිත් චතුරංගගේ තවත් සාර්ථක උත්සාහයකි.

* කෙටි කෙටිකතා ජනප්‍රිය වී ඇති මෙම අවධියේ ඔබට ද මෙවැනි කෙටි කෙටිකතා ලියා එවන්නට අපි ඇරයුම් කරමු.

– ශ්‍රි ලංකන්ස්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.