fbpx
10.4 C
New Zealand
Sunday, August 9, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

අයොතිඕරාවේ විකසිත කවි මල් ගොමුව | සුරංග දසනායක | ඩනිඩීන්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ලෝක සිතියමක් දිග හැර ගත්තහම එහි දකුණු කෙලවරේ පහළින්ම තියෙන රට නවසීලන්තය. ලාංකියන් වන අපිට නවසීලන්තය සමීප වුණේ  කිරිවලින් විශේෂයෙන්ම  හැත්තෑ ගණන්වල අසූ ගණන්වල පරපුරට. බොහොමයක් සිරිලාංකිකයෝ තමන්ගේ උසස් අධ්‍යාපනයටත්,  සංක්‍රමණ නවාතැන විදියටත් මේ හුදකලා වූ නමුත් මනෝරම්‍ය වූ දේශය තෝරගත්තා. කවුරු මොනවා කීවත් මව්බිමින් සහ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක නවසීලන්තයේ සිටින සංක්‍රමනිකයන්ටත් දැනෙනවා. මනරම් හුදකලාවත් පිය විප්පයෝගයත් එක්වුණු තැන සිතක මැවෙන්නට පුළුවන් හරිම අපූරු සිතිවිලි.  හැමෝගෙම සිතේ සිතිවිලි ඉපදුනත් ටිකදෙනෙකු අතින් අතින් පමණක් ඒ  සිතිවලි අකුරුවෙනවා. එහෙම අකුරු වුණු සිතිවිලි මුහුණු පොතේ පලවෙනවා. එහෙමත් නැතිනම් පොත්වලම සැඟවී තියෙනවා.  

හරීන්, හරියටම නම කිව්වොත් හරින්ද්‍රනාත් චන්ද්‍රසිරි. නවසීලන්තයේ සාහිත්‍යයට තෝතැන්නක් වූ ඩනිඩීන් නගරයේ, ලීත් නදිය අසබඩ තමන්ගේ උණුසුම් කුටියේ, ලීත් නදියේ සිලිසිලියත් අසල වනරොදේ කුරුලු නාදයත් හැර වෙනකිසිත් හඬක් නොඇසෙන සුන්දර උදෑසනක කල්පනාවේ නිමග්න වන මොහොතක, ඔහුගේ සිතට එනවා මහා පුදුමාකාර සිතිවිල්ලක්. සුසුදු වළාවෙන් වැසුණු දේශයේ, අයොතිඔරොආවේ, එකියන්නේ මේ නවසීලන්තයේ, සංක්‍රමණික හිත්වල නැගෙන සොඳුරු සිතිවිලි එක්කොට පොතක ලියා තබනට. හරියටම කිව්වොත් නූතන කැටපත් පවුරක් තනන්නට.

තත්පර කීපයක් තුළ සිතුවිල්ල ක්‍රියාවට නැගෙනවා. දුරකථනය අතට ගන්න හරීන් මුලින්ම කතාකරන්නේ මේ කවිපොතට ප්‍රබල දායකත්වයක් ලබාදුන් කිවිඳියන් දෙපලකට. ඒ චන්දි සහ ඉන්ද්‍රා ට. එතෙනින් තමයි  ‘නවසීලන්තයේ අහසයට’  වට්ස්අප් කණ්ඩායම ආරම්භ වෙන්නේ. ‘නවසීලන්තයේ අහස යට ලියු කවි’ යන නම පොතට ලැබෙන්නෙත් මේ නම හරහාමයි. නමත් හරින්ගෙන්. නමුත් නම තෝරා ගැනීමේ දී ඔහු පුදුම විදියට ප්‍රජතන්ත්‍රවාදී වුණා. හැමෝගෙන්ම ඇහුවා. හැමෝම කිව්වා ඒ නම, ඒ කියන්නේ හරින්ගේ හිතේ මැවුණු නම තමයි හොඳම නම කියලා. ඉතින් ඊට පස්සේ, වට්ස්අප් කණ්ඩායමට කවි කිවිඳියන් එකතු කළා, එහෙම නැත්නම්  එකතු වුණා. හරියටම ගණන කිව්වොත් විසි තුන් දෙනෙක්, නවසීලන්තයේ සතරදිග්භාගයෙන්. ඩිජිටල් පත්ඉරු, සාමාන්‍ය පත්ඉරුවල ලියවුණු නවසීලන්තයේ අහසයට ඉන්න මේ  කවි කිවිදියන්ගේ සතුට, දුක , සමාජ කියවීම් හරින්  වෙත  ගලා එන්නට වුණා.

හරීන් මේ හැම එකක්ම එකින් එක කියෙව්වා. කියවලා සෝදුපත් බැලුවා. එහෙම කරලා යැව්වා ඇමෙරිකාවට. තමන්ගේ සරසවි ජීවිතයේ සමකාලීනයෙක් වුණු අමෙරිකාවේ විශ්ව විද්‍යාලයක සම්මානිත මහාචාර්ය වරයෙකුට. මහාචාර්ය ආරි ආරියසිංහ වෙත. එහෙමයි කවිවල අන්තිම පිරිපහදුව සිදුවුණේ. ඉන්පසු කවි එකින් එක පොතට ඇමිණුවා, පරිගණකය ඉදිරියේ නිදි වර්ජිතව. ඔහුම පොත සැකසුවා කෙලින්ම මුද්‍රණයට යැවිය හැකි ලෙස. ඒ තමයි හරින්. කාටත් තේරෙන බසින් කියනවනම් නියම ෆිනිෂර් කෙනෙක්. තව කාටවත් ඉතුරු කරන්නේ නැහැ අබමල් රේණුවක දෙයක්. මෙයාකාරයෙන් පොතක් මුද්‍රණයට ලැබීම මේ පොතේ මුද්‍රණ කටයුතු භාරගත් සුරස ප්‍රකාශන අධිපති ප්‍රේම් දිසානායකයන්ටත්  මහත් පිටිවහලක් වෙන්න ඇති. මේ සා සුළු කාලයකින්, ඒ කියන්නේ අදහස ඇවිල්ලා මාස තුනක් ගතවෙන්නත් ප්‍රථම ප්‍රතිඵලය එන්න මේ සියල්ල බලපාන්න ඇති.

හරින්  එතනින් නැවතුනේ නැහැ. ලංකාවට ගියා තනියම. කවි කිවිදියන්ගේ ලංකාවේ ලිපිනයන්ට මුද්‍රිත පොත් යැව්වා. ඉතිරි පොත් ටික දාගත්තා ගමන් මල්ලේ. ගමන් මල්ලේ සියලුම ඉඩ වෙන්කළේ පොත්වලට. ‘නවසීලන්තයේ අහස යට’ කවි කිවිදියෝ අහස දෙස බළාගෙන හිටිය තමන්ගේ සැබෑ වුණු සිහිනය දකින්න. ඒ, හරියට පුංචි දරුවෝ තමන්ගේ පියා රස කැවිලි අරගෙන ගෙදර එනකම් බලා ඉන්නවා වගේ.

පොතක් ලියන එක ලෙහෙසි කටයුත්තක් නෙමෙයි. ලියපු පොතක් මුද්‍රණය කිරීම ඊටත් අමාරු කටයුත්තක්. බොහෝ  දෙනෙකුට පොතක් ලියා මුද්‍රණය කරනවා කියන එක සිහිනයක් ම පමණයි. නමුත් හරින් බොහෝදෙනෙකුගේ මේ සැබෑ නොවන්නට තිබුණු සිහිනය සැබෑ කළේ අසුරු  සැනෙකින්. ඒ විතරක් නෙමෙයි සුසුදු වළාවෙන් වැසුණු හරිත දේශයේ සැඟවී සිටි කවි කිවිඳියන් රැසක් හරින්  හොයාගත්තා. තමන්ගේ කුලුඳුල් කවිය  ලියු  හිරිමල් යෞවනියත් කවි ගී පදවැල් සිය දහසක් ලියපු ප්‍රතිභාපූර්ණ කිවියාත් ඒ අතර විවිධ මට්ටම්වල ඉන්න කවිලැදියන් සියල්ලත් හරින් එකම තලයක මොනවට සිතුවම් කළා.

හිත නිවෙන්න අකුරු අමුණනමින් පද රටා හොයන නවසීලන්තයේ ජීවත්වන  විසි තුන් දෙනෙක් හරින් එක මිටකට ගෙන සහෝදර බැම්මකින් බැඳ දැමුවා. ලියපු කවි හරින්ට යවලා කවි කිවිඳියෝ බලාගෙන හිටියා කිසිම කලබලයක් නැතුව හරින් මේ ව්‍යාපෘතිය නිම කරන හැටි. හරින් මේ සියලු දෙනාටම  යමක් ඉගැන්නුවා කවි ලිවීමට අමතරව. කොහොම නමුත් හරින්ගේ ඉල්ලීමක් තිබුණා, කවිපොත ගැන කතා කළොත් ඔහු  ගැන කියන්න එපා කියලා. ඒත් අනිත් හැමෝම කිව්වේ ඔහු ගැනම ලියන්න කියලා. නමුත් හරින්ගේ ඉල්ලීමට මුල්තැන දෙමින් ඔහු ගැන හරිම අඩුවෙන් ලිව්වේ, පුළුවන් තරම් ලඝු කරලා.

දැන් දැන් ඉතින් අපටත් තියෙනවා කවි පොතක්, ඔව් අපේම  කවි තියෙන කවි පොතක්. නවසීලන්තයට කවි පොතක්. ‘නවසීලන්තයේ අහසයට’  වට්ස්අප් කණ්ඩායමේ සතුට දෝරෙ ගලනවා. කවිපොත අතට ලැබුණම   කවිපොතේ සාමාජිකයෙක් වන අපගේ ළබැඳි දෙටු සොයුරු, ප්‍රවීණ ගේයපද රචක ප්‍රියානන්ද විජේසුන්දරයන්ගේ හදෙහි හරිනිඳුට මතුවූ තුති ප්‍රණාමය සටහන් කරලා තිබුනේ මෙහෙමයි.

‘අවදිකර කවි තඹරු කිවි රටේ               දියත්තේ
සුවඳකර කිවි සිහල සිත් සලඹ            කැලැත්තේ
අදරබර සොයුර ඔබ පරපුරක              ඉහත්තේ
පබලකර රිවිරැසකි හරින් ඔබ              දස​ත්තේ’

ඉතින් මේ කවි පොත ඔබත් කියවන්න, විඳින්න, කවි ලියන්න. ලියලා නවසීලන්තයේ අහසයට කවි පවුලට එකතුවෙන්න. තව තවත් කවියට ආදරය කරන අය හොයාගෙන දෙවැනි අදියරය දියත් කරන්න සැමට ශක්තිය හා දිරිය ලැබේවා කියලා ඉතසිතින් පතමින් සටහනට තිත තබමි.

සුරංග දසනායක – ඩනිඩීන්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.