fbpx
13.3 C
New Zealand
Sunday, November 22, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

ප්‍රේමය අඳුරේ තැබූ මහා කවියා – සරච්චන්ද්‍ර | වජිර ජයවර්ධන | ඕක්ලන්ඩ්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

‘අපේ ජන කාව්‍යය සම්ප්‍රදායද , පාලි සහ සකු කවියද, සරල ගැමි ජන ජීවිතයද හුරු සරල ගැමියෙකු ලෙස කවිය සහ කලාව තම යටතට ගත හැකි යමෙකු වේ නම් ඔහු කවි බිමේද අසමසම වැඩකාරයෙකි.’

‘සරච්චන්ද්‍ර’ ලෙස ලියවෙන පළමු තැනදීම ඒ මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර ලෙස හඳුනා ගන්නට තරම් ප්‍රබල සන්නාම සංකේතයක් එතුමන් සතු විය. එලෙස එතුමන් වික්‍රමයන් කළේ, නාටකීය පර්යේෂණයන් වුවත් එහි යටි පෙළේ නිධන් ගත වූයේ කවියයි. ජනප්‍රිය නූර්ති ගී පසෙකලා කවිය අවිය කොට ගෙන නාට්‍යය වේදිකාවට නවමු හැඩයක් ඉදිරිපත් කළ එතුමාණන්  තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට පසු එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටතම කවියා බව මහාචාර්ය සුචරිත ගම්ලත් සහ ආචාර්ය ගුණදාස අමරසේකර වැනි සුලවතුන්ගේ උපුටනයන් තුළින් පැහැදිලි වෙයි.

කොළඹ කවීන්ගේ සමනල තටු කම්හල බිඳ දැමූ බිඳ වැට්ටූ කවියෙකු ලෙස සරච්චන්ද්‍රයන් හැඳින්වූයේ අලංකාර මත පමණක් නොරැඳී ජාතක කතාවලින් මතුව ආ රසාලිප්තය  සහ ජන නාටක සම්ප්‍රදායේ ආ කවි ගුණය අමුතු මිහිරකින් හැඟීම් බවට පෙරලූ නිසා වන්නට ඇත. මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය මතින් ගලා ආ අනේක වූ වේදිතයන් ආදරය, අනාදරය, සුබප්‍රහර්ෂය, ශෝක-සන්තාපය වැනි හැඟීම්වලට කාව්‍යාත්මක ලෙස පිවිසෙමින් නාටකීය ලෙස ඒවා ජනගත කරන්නට ඔහු හැමවිටකම උත්සාහ කළේය. ගමින් ගම ඇවිද යමින් පටිගත කිරීමේ යන්ත්‍රයකට එකතු කරගත් ගායනා, ආසියාවේ සෙසු රටවල සිදු කළ ආභාෂයන් සමග මතුවූ  පරිපූර්ණ අධ්‍යනයක අසමසම ප්‍රතිඵලයකි.

ලංකාවේ සිතියම තුළ සරච්චන්ද්‍ර සම්ප්‍රදාය යුග ගණන් මතුවටත් පැතිරවූ අනවරත වූවකි.  කාව්‍යය වංශයේ පොදුවේ ඔහුගේ නම කවියෙකු ලෙස නොලියවුණත් ඔහුගේ නවකතාවල සිට කාව්‍යාත්මක නාට්‍ය  ප්‍රකාශනයන් දක්වා විමසීම් කළ හැකිය. සිංහල ගැමි නාටක ගැන පරිපූර්ණ ශ්‍රාස්ත්‍රීය නිබන්ධන සිදු කළ සරත්චන්ද්‍රයන් කවි සහිත නාට්‍යය ගමන්මගේ දී පැහැදිලි කර ගත හැකිවේ. ඔහු තුළ සිටිනා විවිධ තරාතිරමේ නිරීක්ෂකයා කවි මතින්ම අලංකාර ලෙස අපිට මුණගස්වයි.

ළමා සිතුවිලි බෝ මැවෙන්නේ
ලියලමින් නෙක අත වැඩෙන්නේ
භූ ලොවේ සීමා නොවන්නේ
නාග භවනය තෙක් දුවන්නේ
නාග භවනෙන් පිටත් වෙන්නේ

ගුවන් ගැබ දෙස නැගී යන්නේ
දෙව්ලොවින් කෙළවර නොවන්නේ
චක්‍රාවාටය වට කරන්නේ
අගක් මුලකුත් නැත පෙනෙන්නේ
කණස්සල්ලෙහිමයි වෙළෙන්නේ

බාලක පරිකල්පනයේ සීමාවන් කවියට නගමින් එම මොහොත සහ සිදුවීමට ඔහු කරනා සාධාරණය විශිෂ්ට වූවකි. මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා වැනි නිර්මාණ අපිට නවකතා ලෙස රාමු ගත කළ නොහැකිය.  ඒවා අනගි ගද්‍ය කාව්‍යය ලෙස නොබියව උත්කර්ෂයට නැගිය හැකිය. එහි ඇති වාදී භාෂාව පාඨනය ආශාවෙන් බලගන්වයි. එය විශිෂ්ට වූ කවියෙකුගේ ලක්ෂණයකි.

‘යන්න එපා දෙවොන්දරා සං,’ යි ඈ මගේ මුහුණ දෙස දුක්බර බැල්මක් හෙලමින් කීවා ය.

මගේ සිරුර තුළ ගින්නක් හට ගෙන, හිස දක්වා ඇවිලිගෙන එන්නා සේ මට දැනුනි. මම එයින් මුළුමනින්ම දැවී ගියෙමි. 

කොහොමද නොගිහින්?, මන් ඉඳලා පලක් නෑනේ. තව කොච්චරකල් මෙහෙම තියේයි ද? අපට හැමදාම බෑනේ මේ විදිහට, කවදාහරි වෙන් වෙන්න වෙනවා. දැන් වෙන එක ලේසි නැද්ද?’

ඈ නැමී, තම මුහුණ මේසය මත තබා ගත්තා ය.

 ‘යනව නම් දෙවෙන්දොරා සන්ගේ සිරුරේ සුවඳ, මේ ඇඳුම්වල සුවඳ තියලා යන්න…’ (මළගිය ඇත්තෝ- සරච්චන්ද්‍ර.)

‘ඔබ එතකොට යනවනෙ? හෙට යනවා. එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුණාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නවා. හෙට මම විතරයි. හෙටත්, අනිද්දටත්, කවදටත් මම විතරයි. මොකක්ද වෙනස? අද වගෙම හෙටත් කවුරුත් නැගිටිනවා, කනවා බොනවා, වැඩට යනවා, කතා බහ කරනවා. මාත් මේ ඔක්කොම කරනවා. ඒත් මම විතරයි. ඔබ නෑ.’

එලෙස දෙබසක් මම මළවුන්ගේ අවුරුදුදා කියවූවා මෙන් මතකය. ගද්‍යයයේ වුව කාව්‍යයමය ප්‍රකාශන ලීලාව මනරම් බව කියාපාන්නේ බස හැසිරවීමේ සරච්චන්ද්‍රයන් සතු කවිත්ව ලාභයයි. පාඨක මනසේ හැඟීමක්, වේදිතයක්, මනෝගතිකයක් හෝ මනෝභාවයක් ජනනය කිරීම සඳහා වචන හා වාචාර්ථය ඉක්මවා යමින් භාෂාවේ ඇති අමුතු සෝබාවන් ආකර්ෂණීය ලෙස යොදා ගැනීමේ බුහුටි බව ඔහුගේ කවි මාලා සහ නාට්‍යය ගී පුරා දැකිය හැකිය.

දුහිතෘ ප්‍රේමය සම්භාව්‍ය බස් රසයෙන් මත්ව සරත්ච්චන්ද්‍රයන් තරම් මනා ලෙස විස්තර කළ තවත් කවියෙකු අපට හමුවී නැති තරම්ය.

ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා
සිංහබා සිංහබා සිංහබා

මා සොදුර මා සොඳුර මා සොදුර
සිංහ සීවලී මා ප්‍රිය දියණිය
ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා
ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්
මම දැන ගතිමි මම සැක කළෙමි
සිංහබා සිංහබා සිංහබා

ලෙන තුළ නොවෙති
පෙරලා නොඑති
මම දැන ගතිමි මම සැක කළෙමි
සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය
අහර පිසන්නිය

කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
වනයේ දුකක් විඳ අසන්නිය සොයන්නිය
කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
වනයේ දුකක් විඳ අසන්නිය සොයන්නිය

ඈත් ගොසින්ය ඈත් ගොසින්ය
ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ
ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ

සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත
සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත
ඔහුගේ අණටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී
ඔහුගේ අණටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී

මේ භාෂා ප්‍රාතිහාර්යය මවනා කවියානෝ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට පසුව පහළ වූ විශිෂ්ටතම කවියා යැයි උස්කොට ගෞරව කිරීම කොයිතරම් නම් සාධාරණද. මහා වග්ග පාලියේ එන;

‘පුත්ත පේමං භන්තේ ඡවි ඡින්දති
ජවිං ජෙත්වා මංසං ඡින්දති
මංසං ජෙත්වා නහාරුං ඡින්දති
නහාරුං ජෙත්වා අට්ඨි මිඤජං ආනච්ච නිට්ඨති
සාධු භන්තේ අස්‍යා අහුනුඤ්ඤානං
මාතා පිතුහි පුත්තං න පබ්බා ජෙය්‍යුන්ති’

අදහස

‘පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට
දුක් දෙයි නිබන්දා’
ලෙසින් කාව්‍යාත්මකව සරල ප්‍රතිනිර්මාණයක් බවට පෙරලන්නට කොයිතරම් නම් නිර්භීත කවිත්වයක් ඔහු සතුවිය යුතුද…?

සැළලිහිනි අස්න, කාව්‍යශේඛරය, ඉංග්‍රීසි හටනේ කවිකාර ලක්ෂණද ගෙන පෙරා මිරිකා ඔහු නව කවි ලතාවන් ඉදිරිපත් කර ඇත්තේ නාට්‍යය ප්‍රේක්ෂකයා ද කවි ප්‍රේමියා ද එකම ඉසව්වක රඳවමිනි.

අපේ ජන කාව්‍යය සම්ප්‍රදාය ද පාලි සහ සකු කවිය ද සරල ගැමි ජන ජීවිතය ද හුරු සරල ගැමියෙකු ලෙස කවිය සහ කලාව තම යටතට ගත හැකි යමෙකු වේ නම් ඔහු කවි බිමේද අසම සම වැඩ කාරයෙකි. කවි ප්‍රේමයම තම අණසකට ගෙන  ආත්ම ප්‍රකාශනය නාට්‍ය රූපීව එළිදක්වන යමෙකුවේ ද ඔහු කවියා ඉක්මවා ගිය අග්‍රේෂ්වර මානවයෙකු වන්නේය. එසේ නම් මෑත සියවසේ මහා කවියා සරච්චන්ද්‍රයන් නොවන්නේ ඇයි.

වජිර ජයවර්ධන – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.