fbpx
10.7 C
New Zealand
Thursday, May 2, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

මිරිඟුවක මන්දිර | අනූ වීරකෝන් | වෙලිංටන්

Must read

අරෝහා වැඩිහිටි නිවාසය දෙසින් විදුලි වේගයෙන් පිටවන ගිලන් රථය දුටුවත් සමදරී එය කෙරෙහි සැලකිල්ලක් දැක්වූයේ නැත. ඒ එය දැන් ඇයට සුලභ දර්ශනයක් වී හමාර වූ බැවිනි. සෑම සතියකම ගිලන් රථයක් අරෝහා වැඩිහිටි නිවාසයෙන් පිටවන්නේ අසාධ්‍ය තත්ත්වයෙන් සිටින නේවාසික වැඩිහිටියෙකු රෝහලට ගෙන යාමට හෝ මියගිය වැඩිහිටියකු රැගෙනය.

චූටි දුව පෙර පාසලට ඇරලවා ඒමට සිදු වූ බැවින් වැඩට එන්න මදක් ප්‍රමාද වූ සමදරී ඉක්මනින් වැඩිහිටි නිවාසයේ කාර්යාලයට ඇතුල් වූවාය. වෙනදා මෙන් කාර්යාලයේ පිරිස පෙනෙන්නට නොමැත. ඔවුන් තමන්ට එදින පැවරුණ රාජකාරී සදහා නික්ම ගොස් ඇත. ලීසා ඈත පෙනෙන ෆෝටෝකොපි මැෂිම ළඟ කොළ ටිකක් එකතු කරනු සමදරීට පෙනුණි. ඉදිරිපිට කවුන්ටරයේ වීදුරුව අතරින් ඇය අත වනමින් සුභ උදෑසනක් යැයි කීවාය. සමදරී ද එයට සුභ උදෑසනක් යැයි ප්‍රති උත්තර දෙමින් වහාම තමන්ට නියමිත රාජකාරිය වෙත යන්න කාර්යාලයෙන් පිටතට පැමිණියාය.

සති අන්තයේ මල් පාත්තිවල සාත්තුව සහ වල්පැල උදුරා ඇති වග සමදරීට පෙනුනී. එය ජිම්ට පැවරුන රාජකාරියයි.  ඔහු පුංචි බිංකුන්ඩෙක් සේ අරෝහා වැඩිහිටි නිවාසයේ වත්ත පුරා හෙමින් හෙමින් එහා මෙහා යමින් සේවයේ යෙදෙයි.

මෙම ස්ථානය වැඩිහිටි නිවාසයක් වන නිසා වත්ත පිටිය ප්‍රසන්නව තැබීමට කළමනාකරණ මණ්ඩලය මහත් උත්සාහයක් ගන්නේය. ජීවිතය වෙහෙසකර කඩඉමක සිටින මෙහි නේවාසික වැඩිහිටියන්ට ප්‍රියජනක මොහොතවල් එක් කරන්න ඔවුන් දරන උත්සාහය, මුදල් ගෙවා කරන සේවාවක් වුවත් අගය කළ යුතු යැයි සමදරී සිතුවා ය.

අදට සමදරීට නියමිතව ඇති එක් කාර්යයක් වන්නේ සැලී, ලින්, නිකෝල්, මීරා සහ ශ්‍රියානිගේ උදේට නියමිත බෙහෙත් ටික දීමය.

සුභ උදෑසනක් ලින්, කියමින් නිවාස පේළියේ එක දොරක් විවෘත කරමින් සමදරී ඇතුල් වූවා ය. උදෑසන හොදින් මුහුණ සෝදා හැඩ වැඩ වී ඇඳ පැළඳගෙන සිටින ලිං දුටු සමදරිට මතක් වූයේ අද බදාදා නේද කියාය. බදාදා සවස යනු ලිං දැන් ගෙවන ජීවිතයේ ඇති විශේෂම දවස ය. සෑම බදාදා දිනයකම ඇයගේ දියණිය පැමිණෙයි. මෙහි නේවාසික වැඩිහිටියන්  බොහෝමයකගේ සැප දුක බලන්නට පැමිණෙන පිරිස ඉතා අඩුය. ලින්ව බලන්නට පැමිණෙන්නේ ඇගේ හොඳම මිතුරිය වන මේවස් සහ ඇගේ දියණියයි. සමදරී ලින් සමග සැමට හුරුපුරුදු මාතෘකාව වන කාලගුණය ගැන කතාබහ යෙදී ඉන්පසු දුවගේ පැමිණීම ගැනත් තවත් විවිධ මාතෘකා කීපයක් කතා කොට මීරාගේ බෙහෙත් ටික දීම සඳහා නික්මුණා ය.

මීරා ආසියාතික සම්භවයක් ඇති එහෙත් කාලයක් නවසීලන්තයේ ජීවත් වූ නිසා මෙහි ජීවන රටාවට බොහෝ දුරට අනුගත වී ඇත්තියකි. ඒත් ඉඳහිට ඇගේ ආසියාතික ගති ලක්ෂණ මතු වෙන වග දීර්ඝ කාලයක් ඇය සමග වූ ගනුදෙනුව තුළ සමදරී දැන සිටියාය.

‘සුභ උදෑසනක් මිරා,’ යැයි කියමින් සමදරී දොරින් ඇතුල් වනවාත් සමගම තේ කෝප්පයක් හදමින් සිටි මීරා දොර අසලට පැමිණ ඇයව වැළඳගත්තාය. ඒ වැළඳගැනීමේ මවකගේ උණුසුම තවම ඇතැයි සමදරීට සිතුනි. ඇගේ කාමරයේ බිත්ති තම දරුවන්ගේ පින්තූරවලින් පිරී ඇත. ඔවුන් බොහෝ දෙනෙක් ද අද නවසීලන්තයේ නැත. එහෙත් වරින්වර ඔවුන් ඇය බැලීමට පැමිණෙන බව සමදරී දැක තිබේ. මීරා ඉතා සුහදශීලී මෙන්ම කාරුණික කාන්තාවකි. බිත්තිවල සිටින දරුවන් පිරිවරාගෙන ඇය අරෝහා වැඩිහිටි නිවාසයේ කල් ගත කරයි.

මීරාට සමුදුන් සමදරී හෙමින් හෙමින් අනිත් කුටිවලට ගමන් කළාය. මෙසේ කුටියෙන් කුටියට කාමරයෙන් කාමරයට යන විට සමදරීට මහා ඒකාකාරී බවක් දැනුනත් ඒ තමාගේ රාජකාරියේ කොටසක් වග හිතට ඒත්තු ගන්වමින් ඇයට නියමිත කාර්යයන්වල යෙදෙන්නට වූවා ය.

මෙම නිවාස පෝලිමේ කෙළවරේ කුටියේ සිටියේ ශ්‍රියානිය. කෙළවරම කුටිය නිසා එයට පුංචි ගෙවත්තක් ද ඇත. ඇයගේ කාමරය කෙළවරටම වීම කෙතරම් අගේද කියා සමදරීට සිතුනු වාර අනන්තය. බොහෝ විට ඇයගේ කාමරයෙ අනිත් කාමරවලට වඩා වැඩිපුර කාලයක් ගත වෙන්නේ සමදරීටත් නොදැනීය. ශ්‍රියානිට විවාහ වූ දුවෙකු සහ පුතෙකු සිටිත්. ඇගේ සැමියා මිය ගියේ මීට අවුරුදු දෙකකට පෙරය. දරුවන් දෙදෙනා ද දැන් නවසීලන්තයේ නොමැති අතර දුව අමෙරිකාවේ සහ පුතා ඕස්ට්‍රේලියාවේ පදිංචිව ඇත. ශ්‍රියානි වෘත්තීයෙන් ගුරුවරියක් ලෙස ලංකාවේ රැකියාව කළ බව සමදරී සමග පවසා ඇත. දුෂ්කර පළාත්වල සේවා කාලෙදි ඇයට මුණගැසුනු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වගතුග බොහොම ආඩම්බරයෙන් සහ කරුණාබරව ඇය සමදරී සමග බෙදා ගත් වාර අනන්තය. දරුවන්ගේ සුභ සිද්ධිය සොයා තම ස්වාමියාගේ තීරණයට අවනතව නවසීලන්තයට ආ ගමනේ අවසානය අරෝහා වැඩිහිටි නිවාසයේ ඇය ගත කරමින් සිටී.

සමදරීට ඇයව දැනුනේ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තියක් ලෙසය. පිටරට ජීවිතයේ දී පොෂ් යැයි සම්මතයට අනුගත වන්නට උත්සාහ දරන වැඩිහිටියන් බහුලව දකින්නට ඇති පරිසරයක ශ්‍රියානි වැනි වැඩිහිටියන් මුණගැසුන විට ඔවුන් සමග කතාබහේ යෙදෙන්න සමදරී බොහෝ කැමැත්තක් දක්වයි. රාජකාරිය සමඟ බැඳෙන මායිම් අතරට හිරවෙන සමදරී අකමැත්තෙන් වුවද ශ්‍රියානි සමග තියෙන සම්බන්ධය රාජකාරි මට්ටමෙන් පමණක් පවත්වාගෙන යන්නට දැඩි උත්සාහයක් දරයි.

ශ්‍රියානිගේ සාත්තුවෙන් මලින් පිරුන පුංචි පුංචි පෝච්චි අතරින් කුටියේ දොර අසල සිටගත් සමදරීට කාමරයේ විදුලි පහන තවම දැල්වී ඇති බව පෙනී ගියේ ය. ඇගේ දෙනෙත් ඉබේම අත් ඔරලෝසුව දෙස යොමු විය. දැන් වෙලාව උදෑසන නවයට කිට්ටු වී ඇත. ඇය දොර විවර කළාය. කාමරය තුළ ඇති බඩු විවිධ අත විසිරී තිබෙනු පෙනේ. සුළු මොහොතකට පෙර ඇය අවදි වූවා විය හැකි යැයි සමදරිට සිතුණි. එහෙත් කාමරය තුළ ශ්‍රියානි පෙනෙන්නට නැති නිසා සමදරී ඇය නාන කාමරයේ ඇතැයි අනුමාන කළාය. සමදරී හෙමින් සැරේ ඇයගේ නාන කාමරය දෙසට ගියාය. නාන කාමරයේ දොර හොඳින් විවර වී තිබූ නිසා ශ්‍රියානි එහි නොමැති බව පෙනුනි.

සමදරී මදක් වට පිට බලන විට ශ්‍රියානිගේ ජංගම දුරකථනය ටීපෝව මත ඇති බවත් ඒ අසලම ඇගේ කුඩා පොත් පිංච පෙරලා ඇති අයුරුත් දුටුවාය. ශ්‍රියානි වැඩි ඈතකට ගියා විය නොහැක යැයි ඇයට සිතුණි. සමදරී හෙමින් ටීපෝව අසලට ගියාය. වයිබර් දුරකථන ඇමතුමක් ගන්නා ආකාරය පිළිබඳ පියවරෙන් පියවර සටහන්ව ඇති පිටුව පොතේ පෙරලා ඇති බව සමදරීට පෙනුණි. බොහෝ විට සමදරී පැමිණි විට ශ්‍රියානිට වයිබර් දුරකථන ඇමතුම් ලබාගැනීමට උදව් කර ඇත. එනිසාම ඒ දුරකථනය කිසිම රහස් අංකයකින් විවෘත වන්නට සකසා නොමැති බව සමදරී දැන සිටියාය. දුරකථනය අතට ගත් සමදරී එය ක්‍රියාත්මක කරන විට එකවරම වයිබර් ඇමතුම් ඇති තිරය දිස්වන්නට විය. සමදරී දුටුවේ ශ්‍රියානි පුතාට වයිබර් ඇමතුම් කිහිපයක් මීට පැයකට එකහමාරකට පමණ පෙර අරගෙන ඇති බව ය. එහෙත් එහි ඇති දත්ත අනුව පුතා ඒ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වා නැතිවගක් පෙනෙන්නට ඇත.

සමදරී වහාම අරෝහා කාර්‍යාලයට ඇමතුමක් ගත්තාය. ශ්‍රියානි පිළිබඳ දැන ගැනීම අත්‍යාවශ්‍ය ය. අද දොස්තර මුණගැහෙන දවසක් ද නොවන බව සමදරී හොඳින් දනී. දුරකථනය කෙළවර සිටින මෙලීසා හුස්මක් කටක් නැතුව විස්තර කියාගෙන යයි. ඒ අතර සිහින් හිනාවක  හඬ ද ඇගෙන් මතු වෙයි. සමදරී අසල පුටුවට බරවූවා ය.

දුරකථන ඇමතුම විසන්ධි කළ සමදරී වහාම තම දුරකථනය සාක්කුවෙන් එළියට ගෙන එහි ඇති ඡායාරූප එකින් එක පෙරලන්නට විය. ඇය සේවා පින්තූරය මතු කර ගත්තාය. අවසාන වරට සමදරී ලංකාවට ගිය විට මව සමග ගත් පින්තූරය එය විය. මහගෙදර තනිවම ජීවිතය ගත කරන සමදරීගේ අම්මා දරුවන් හතර දෙනෙක් උස් මහත් කළ කාන්තාවකි. එහෙත් ඔවුන් අද ඇය සිටින මායිමකවත් නැත. උපාධිධාරී දරුවන් හතර දෙනා ලොවක් ජය ගන්නට වෙහෙසමින් පිටරටවල්වල තම පවුල් ජීවිත ගොඩනගමින් සිටී.

සමදරී තම දියණිය සමග නිතර දෙවේලේ ස්කයිප් තාක්ෂණය හරහා අම්මා සමග සංවාදයේ යෙදෙයි. ඇයගේ දියණියගේ හුරතල් ඉංග්‍රීසි උච්චාරණයන් සමග කියන දේ මෙලෝ හසරක් තම මවට නොතේරුන ද මිත්තණිය ලෙස ඇයගේ මුහුණට ආඩම්බරයක් එනු සමදරී දැක ඇත. මේ කෙල්ල සුද්දියෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්නේ ඇය කී වාර අනන්තය. මහ ගෙදර පාළු බිඳින ඇය තමන්ගේ ඒකාකාරී බවින් පිරි ජීවිතය, ගතට දැනෙන වෙහෙස, සිදුවන අපහසුතා සියල්ල මෙසේ හිතට බලෙන් රිංගවාගන්නා ආඩම්බරයත් මාන්නක්කාරකමින් මකා ගන්න උත්සාහ දරනවා යැයි සමදරීට සැමවිටම සිතුනි.

දෙමව්පිය වන්දනාව, දෙමව්පියන් රැකබලා ගැනීම ගැන දහම් පාසලේ තොරතෝංචියක් නැතුව උගන්නපු දෑ සමදරී දිග හුස්මක පාකර ඇරියාය.

මෙලිසා කී පරිදි ශ්‍රියානි මෙලොවින් නික්ම ගොස්ය. ඇගේ විඥානය තව ස්ථානයක උප්පත්තිය ලබා ඇත. දැන් කොටින්ම ශ්‍රියානි කෙනෙක් නොමැත. ඇයගේ චුති සිත කුමක් වන්නට ඇත්ද? පන්සලේ ස්වාමින්වහන්සේ කර්මය සහ විපාක පිළිබද ධර්ම දේශනා මාලාවම සමදරීට නැවත දෝංකාර දෙන්නට විය. මහා ඇසූ පිරූ දානමාන කළ ඇයට මේ තනිකඩ කාමරයේ අවසාන මොහොතේ දී සිහි ගන්වන්න ඇත්තේ කුමක් ද?

නලා හඬ පිඹගෙන විදුලි බුබුළු දල්වමින් උදේ පාන්දර වැඩිහිටි නිවාසයෙන් ගිය ගිලන් රථයේ තිබුණේ  ශ්‍රියානිගේ දේහය බව මා මොහොතකටවත් දැන සිටියා නම් කියා සමදරීට සිතුනි. ඔව් දැනගෙන හිටියා නං කුමක් කරන්න ද ? සීතල මළකඳ දිහා බලන්න, දොඩන්න ඉඩක් ද උඹ ඔය ඉල්ලන්නේ කියා සමදරීගේ හිත ප්‍රති උත්තර දෙනු ඇයට ඇසුනි.

තම දියණිය උදෑසන පාසල් ඇරලවපු ආකාරය සමදරීට මතක් විය. මෙලෙස ශ්‍රියානි ද ඇගේ ජීවිතයේ දරුවන් උස්මහත් කරන්නට වෙහෙස වන්නට ඇත. එහෙත් ඇය අද නාදුනන පිරිසක් මැද තනිවම ඒ නික්මීම සනිටුහන් කර ඇත. අපි තනන ලෝකය යනු සැබැවින්ම කුමක් ද?

බුදුරජාණන් වහන්සේ කැණිමඬල බින්දා යැයි කීම සත්‍යයක් නොවේ ද? අප වටා තනන, අප දකින, පතන ලෝකය අපටත් නොදැනී මහමන්දිර තරම් ලොකු වී ඇත. ඒ මන්දිර කෙසේ බිඳලන්න දැයි සමදරීට සිතුනි. ශ්‍රියානි ද මගේ අම්මා ද අප මෙන්ම මන්දිර තනන්ට ඇත. ඇය සිතුවාය.

ශ්‍රියානිගේ කාමරයේ දොරගුළුලා සමදරී යළි හෙමින් හෙමින් කාර්යාලයට පිය නගන්නට විය.

ඇයට, තමන්ගේ නවසීලන්ත ගමනට පෙර අම්මාගේ නිවසේ පැවති දානයේ දී ස්වාමීන් වහන්සේ බණට දේශනා කළ කරුණ සිහි විය.

මිනිසුන්ගේ චර්යාව විටෙක බල්ලන්ට සමාන කළ හැකි යැයි ඔහු කීවේය. තැනක පහුරු ගා වාඩි වී සිටින විට බල්ලා නැවත නැගිට මිදුලේ තව තැනක් පහුරු ගා හිඳගනි. ඉන් නැගිට යලි තව තැනක් පහුරු ගා හරිබරි ගැසී වාඩිවෙයි. මෙසේ තැනින් තැන පහුරුගාමින් මිදුල පුරා බල්ලා දිව යන්නේ තමන් සිටින ස්ථානයට වඩා එහා ස්ථානය හොඳ යැයි සිතමින් තෘප්තිය සොයා යැයි ස්වාමීන් වහන්සේ දේශනා කළේය. ඇත්තටම ස්වාමින්වහන්සේ එදා අඟවන්නට උත්සාහ දැරුවේ අපේ මේ ජීවන ගමන නොවේදැයි සමදරීට කල්පනා විය.

අප පහුරුගාමින් හදන මේ ලෝකය කවදා හෝ අතහරින දවසක් පැමිණෙන බව ලෝකය තනන මොහොතේ දී අප කිසිසේත්ම සිතන්නේ නැහැ නොවද? බොහෝ ජීවිත කරුණු ගැන ශ්‍රියානි සමග කතා බහ කළත් ඉහත කරුණ ගැනත් ඇය සමග කතා කරන්නට තිබුණා නම් කියා සමදරීට සිතුනි.

ජීවිතයට මරණය හමුවන විට යථාර්ථය කළු  පාටින් ලියවෙයි ද? සමදරී තමන්ගෙන් ප්‍රශ්න කරන්නට වූවා ය.

“අපි වයසට යන විට වතුර වීදුරුවක්වත් දෙන්න අපේ දරුවෝ ඉන්නවා.”

සමදරීගේ හිත මේ වැකිය පුංචි කෑලිවලට කඩමින් තලමින් එය එසේ දැයි ප්‍රශ්න කරන්නට විය.

By Anu Weerakoon – Wellington

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.