1966 අවුරුදු නිවාඩුවට මාකඳුරේ රන්සෑගොඩ පිහිටි මද්දුම අම්මාගේ ගෙදරට මම ගියේ බසයෙනි. මගේ අම්මාගේ බාල අක්කා නිසා ඇයට “මද්දුම “ යන වචනය භාවිතා වන්න ඇත. මාතර මාකඳුර මාර්ගයේ 16 වැනි සැතපුම් කණුව අසලින් මහපාරේ සිට සැතපුම් 2 ක් පමණ ගුරු පාරේ ගමන් කරන විට හමුවන පාලු කඳු බෑවුම් සහිත කුරුඳු යායක්මැද පිහිටි කුඩා කඳු ගැටයක මද්දුම අම්මා සහ මද්දුම තාත්තා ජීවත් වූහ.
අයියලා අක්කලා කිසිවකු එදින ගෙදර නැත. මද්දුම තාත්තා මට පැරණි ගමේ තොටේ පවුලේ වත ගොත පරම්පරා කතා කියා දුන්නේ ඒවා අසන්න මම කැමැති බව ඔහු හොඳින් දන්නා බැවිනි. කොහොමටත් මද්දුම තාත්තාගේ කතා මට රසවත් වූයේය.
මද්දුම තාත්තා විමලගුණරත්න නමින් ඉපදී ඇත්තේ 1901 වර්ෂයේදීය.ඔහු ඉපදී ඇත්තේ මාකඳුරේ වුවද සීයා හා මුතුන් මිත්තන් අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.
හේනේ අප්පුහාමි වන තම සීයා එම පළාතේ ප්‍රභූවරයකු වුවද සිරිතක් ලෙස බුලත් විටක් නිතර හපන සාමන්‍ය ගැමියකු ලෙස ඔහු ජීවත් විය. තම ගමන් සඳහා අශ්ව කරත්තයක් තිබුණ ද ඔහුට ගම වටේ ඇවිදයාමට තම නිරුවත් දෙපා හොඳටම ශක්තිමත් විය. එබැවින් ධනවතකු වුවද දහඩිය වෙහෙසා වැඩ කිරීම ඔහුගේ සාමාන්‍ය දින චරියාවක්වී තිබුණි.
දිනක් තම සීයා හා ආච්චි සමග ඔහු අශ්ව කරත්තයෙන් අනුරාධපුර වන්දනාවක් යෑමට පිටත් විය. එකල හට්ටි මුට්ට් ඇතුළු සියලුම ආම්පන්න රැගෙන යන වන්දනාකරුවෝ මහමග හෝ අම්බලමක රාත්‍රිය ගත කරන්නෝය. බොහෝවිට කුලවතුන් නැවතුනේ පන්සල්වලය. රාත්‍රී කීපයකට පසු අනුරාධපුරයට ඔවුහු ළඟා වූහ.
අනුරපුර ගියවිට ගැමුණු මහරජ ඉදිකළ රුවන්වැලි මහා සෑය වැඳපුදා නොගන්නා බෞද්ධයෙක් මෙලොව නැත. හේනේ අප්පුහාමි හපමින් සිටි බුලත්විට ද විසිකර හොඳින් අතපය සෝදා පිය නැගුවේ ගරා වැටුණු මහා චෛත්‍ය රාජයා වැඳ නමස්කාරයටය.
එකළ ක්‍රි.වර්ෂ 1910 වකවානුව වන්නට ඇත.රුවන්වැලි මහා සෑය ප්‍රතිසංස්කරන කටයුතු සඳහා ආධාර අනුග්‍රහයන් සෙවීමට එහි සංවිධායකවරු එකළ මහත් වෙහෙසක් ගත්හ. එකළ මිනිසෙකුගේ දිනක වැටුප ශත 10 කට වඩා වැඩි නැත.එබැවින් ශත 50 ක් හෝ රුපියලක් මෙම අරමුදලට ලොකු ශක්තියක් වූයේය. මුදල් පරිත්‍යාගයට දිගු පෝලිමකි. හේනෙ අප්පුහාමි ද පෝලිමට එකතු විය. රුපියල් දහය පහළොව පරිත්‍යාග කරන පින්වතුන් ද එමටය.
රුපියල් 100 ක් තමන්ට ඉදිරියෙන් සිටි පින්වතා පරිත්‍යාග කරන විට එය ගරුසරුවකින් ලබා ගත් මුදල් අයකැමි එම මහතාට පිංපෙත් පමුණුවාලීමට මහත් වෙහෙසක් දැරීය. රුපියල් සියයක් යනු එසේ මෙසේ මුදලක් නොවේ. දැන් පැමිණ ඇත්තේ හේනෙ අප්පුහාමිගේ වාරයයි. බුලත් කහට බැඳි දත් පෙළ පෙන්නා යටහත් පහත් ලෙස මටත් මුදලක් පූජා කිරීමට අවශ්‍ය බව ඔහු කියන විටම මුදල් අයකැමි මහතා
‘ලොකු උන්නැහේ රුපියලක්වත් ලියන්නදැයි’ සානුකම්පිකව ඔහුගෙන් ඇසීය.
‘මගෙන් ලක්ෂ දෙකහමාරක් ලියා ගන්න’
‘ලොකු උන්නැහේ මිනිස්සු පෝලිමේ ඉන්නවා ගොඩාක්. විහිළු කරන්න වෙලාවක් නෙවෙයි. කියන්න ඉක්මනට’ අයකැමි නොරුස්සන හඬින් කීවේය.
‘ඒක තමයි මහත්තයෝ කිව්වෙ ලක්ෂ දෙකහමාරක් කියලා’ නැවත සන්සුන්ව හේනේ අප්පුහාමි පිළිතුරු දුන්නේය.
දැන්නං අයකැමි මහතාට ඌරු ජුවල්ය. මෙවැනි පිස්සන් එමට ඔහු දැක ඇත. කීපවරක් අවවාද කළ ද ලොකු උන්නැහේ ගණන අඩු කරන්නේම නැත. දැන් මෙතන ගාල ගෝට්ටියකි. හාමුදුරුනමක් එතැනට වැඩම කර ආරවුල බේරීමට ලොකු උන්නැහේ නායක හාමුදුරුවන් ළඟට රැගෙන යන ලදී.
නායක හාමුදුරුවන්ට කරුණු කාරණා පැහැදිලි කර දුන් පසුව ද මෙම බුලත් කහට බැඳුණු ලොකු උන්නැහේගේ කතාව ලොකු හාමුදුරුවන්ට හීනයක් විය. අවසානයේ තමා පැමිණි අශ්ව කරත්තය ළඟට ගොස් රුපියල් ලක්ෂ දෙක හමාරක චෙක්පතක් ලියා දෙනවිට හාමුදුරුවන්ගේ ඇස්වලට එය අදහා ගත නොහැකි විය.
වහාම හේනෙ අප්පුහාමි සමග සෙනග ඉදිරියට පැමිණ සිද්ධිය හෙළිකරන විට සිය ගණනක් පින්වතුන් මහා හයියෙන් නොකඩවා සාධුකාර දෙන්නට විය. නායක හාමුදුරුවන් වදාළේ එම ධනස්කන්ධය ප්‍රතිසංස්කරණයේ විශාල කොටසක් අවසන් කිරීමට ප්‍රමාණවත් බවය.
රුවන්වැලි මහා සෑයේ ඉදිරිපිට සීයාගේ පින්තූරය ප්‍රදර්ශනයට තැන්පත් කර තිබෙන බව මද්දුම තාත්තා කියන විට මටද මහත් ආඩම්භරයක්සේ දැනිණ.
ඊට පසු කාලයක මම රුවන්වැලි සෑයට වැඳුම්පිදුම් කිරීමට ගිය විට සීයාගේ පින්තූරය බැලීමට අමතක නොකළෙමි. පුදුමයකි! එහෙම පින්තූරයක් එතැන නැත. වට කීපයක්ම ඇවිද්දත් මටනං එවැනි පින්තූරයක් සොයා ගත නොහැකි විය.
අවසානයේ නායක හාමුදුරුවන් හමුවී වැඳ නමස්කාර කොට ඒ ගැන මම වැඩි විස්තර ඇසුවෙමි.
‘ඔව් මහත්තයා කතාව ඇත්ත. නමුත් පින්තූරය දැන් තියෙන්නෙ පන්සලේ’ යැයි කියා පින්තූරය අපට පෙන්වීමට තරං නායක හාමුදුරුවෝ කාරුණික වූහ.
දයා ප්‍රතාපසිංහ – ඕක්ලන්ඩ්